Friday, 2 August 2024

බල්ලට ගියපු සෙනසුරාදා ව හෙවත් ශැඩෝ දවස්

 බල්ලට ගියපු සෙනසුරාදාව....

============


මට දැන් මේ කෝලම් කරන්න කෙනෙක් නෑ. සෙනසුරාදා තමයි උගෙ දවස. ඒ වගේම හොඳට ඉර පායල , සැරට අවුව වැටෙන සෙනසුරාදාවක් කියන්නෙ ඒක නම් බල්ලටම ගියපු ශැඩෝ දවසක්...


බාතෲම් එකේ ලොකු බේසම පිරෙන්න ටැප් එක ඇරල. පොඩි බාස්කට් එකට ශැම්පු දානකොටම එයා දන්නව ඒ නම් එයාව නාවන්න තමයි කියල. 


නාන්න හරිම කැමති නිසා ඌට හෙන හැපි.හැබැයි මට එක සැරේම එයාව අල්ලගන්න බැරි වෙන්න වට දෙක තුනක් දුවනව, මාව පස්සෙන් ගෙන්න ගන්න. මන් අම්මෝ බෑ ශැඩෝ.. එක්කො අද  නාන්න ඕනෙ නෑ එහෙනම් කියල උගෙ පස්සෙන් පන්නන වැඩේ නතර කරාම ඔන්න ඉතින් නටෝ නටෝ ළඟට එනෝ. 


ලෝම පිරුණ වලහෙක් වගේ ඒ සයිස් ජර්මන් ශෙපර්ඩ් බල්ලෙක්ව  නාවනව කියන්නෙ ඉතින් මාත් නාන්න ඕන අනිවා . බල්ලෙක් නාවනේක හරිම ඉවසීමෙන් කරන්න ඕන වැඩක්. පොරගෙ ලෝම කෝට් එක තෙත කරගන්නම සෑහෙන වෙහෙසක් දරන්න වෙන්නෙ , දාන දාන හැම වතුරෙකටම පස්සේ ඇඟම සලිත් කරල ලෝම ගසල මුළු පළාතම වතුර බිංදු වලින් සංතෘප්ත වෙන්න විසුරවන නිසා. ශැම්පු දැම්මාම තව ශෝක් ඉතින් ඒකනේ " Anybody who doesn’t know what soap tastes like, never washed a dog." කියල සුද්දත් කියල තියෙන්නෙ.


පොර නාවල ශැම්පු ගාන වැඩේට හෙනම කැමති. බෙල්ල යට ශැම්පු පෙන පිරිලා තියෙද්දි බෙල්ල උස්සන් ඉන්නවා තව කසපන් කියල.නාවල ඉවරෙල පිහිනෙක තමා ආතල්ම වැඩේ. මුලදි පිහින්න දෙන්නෑ. ලොකු ටවල් එකේ එක පැත්තක් ඌ අදිනවා අනිත් කොන " මෙහෙ දියන් බන් " කියල මම අදිනවා. ඒ  වැඩෙත් " එහෙනම් උඹම පිහගනින් " කියල අතෑරියම තමා ඌත් එහෙනම් උඹ පිහපන් අක්කෙ කියල ඉඩ දෙන්නෙ. මන් එයාව පිහින්න පාවිච්චි කරපු , ශැඩෝගේ දත් වලට තැන තැන හිල් හැදුන එයාගෙ අන්තිම තුවායත් එයා එක්කම වල දැම්මා.


හොඳටම තෙත පිහින්නෙ නැත්තෙ ඊළඟ වටේ තියෙන්නෙ අවුවෙ ඇවිදින්න නිසා


මන් හිතන්නෙ අවුවෙ ඇවිදින්න එක්කරන් යන නිසා තමා ශැඩෝ නාන්න කැමති. හති වැටෙනකම් අවුවෙ ඇවිදල ආවට පස්සෙ එයාට හම්බෙන රස කෑම පුරවපු එයාගෙ පිඟානත් හේතුවක් වෙන්න පුලුවන්.


උගෙ ලෝම කපනෙක නම් මන් හෙන ලෝබකමින් කල වැඩක්. තෙත හොඳටම වියලුනාම එයාව පීරන්නත් මන් අලුත් පනා ගොඩක් ගෙනත් අන්තිමට ගෙනාපු පනාව තාම අලුත් පිට තියනවා.ශැඩෝගෙ ඉස්සරහ කකුලක් මම අත දුන්නම අතට අත දෙනව වගේ දුන්නට පස්සෙ නියපොතු කපල ඇඟිලි අතරෙ කිනිතුල්ලො ඉන්නවද බලනෙකට එයා හරිම කැමති. 


එකාතකට ඉතින් තමන් ගැන තව කෙනෙක් ආදරෙයි නම් හොයල බලනව නම් සතෙක් නෙමේ මනුස්සයෙක් උනත් කොච්චර නම් කැමතිද...


Caring for others is the highest expression of humanity.” කියන්නෙ නිකම්‍ යැ.


දැන් ඉතින් මට එහෙම බලාගන්න බවුවෙක් නෑ. හැබැයි කොල්ලෙක් හිටියනම් ඔයිට වඩා හොඳට බලා නොගෙන ඉන්නෙත් නෑ....


පොඩ්ඩක් කල්පනා කරල බලන්න....

Saturday, 22 June 2024

දුවන පඩිපෙල

  දුවන පඩි පෙළ




ටයිල් අතුරන ලද පොළව යට සිට පඩි පේලි එකින් එක මතුව උඩට විත් ඉහළට පාවී යයි. ඔහු ඉන් එකක් කෙසේ තෝරා ගත්තේ දැයි නොවැටහුනත් , ඉන් එකකට පය තබන්නට කලින් මාගේ දකුණතින් අල්ලා ගත යුතුව තිබුණා නොවෙ දැයි මට සිතුනි.නමුත් ඔහු සමඟින් සිටිනා විට මගේ සිතට නැඟෙන බොළඳ සිතුවිලි ඔහුට කීමට යාමෙන් මා ලබන්නේ ඔච්චම් සහගත සිනාවක් පමණක් නිසා එබැවි බොළද සිතුවිලි ම,සිතට පමණක්ම සීමා කර ගනිමි.


දුවෙන පඩි පෙළකින් උඩට ගොස් යළිත් එවැනිම වූ දුවන පඩි පෙළකින් පහළට යාමට සැරසෙත්ම පළමුවර මෙන් සමතුලිතතාවය නොමැති වීමට ඉඩ දිය නොහැකි නිසා පළමු පඩියට පය තැබීමට ප්‍රථම දැඩිව ඔහුගේ වමතින් අල්ලා ගත්තෙමි. අල්ලා ගත් අත දැවිඩ වැළඳ ගනිමින් ඔහුට තුරුලුව ඉතිරි පඩිපේලි දිගේ ගලා යාමට ආසා කළ ද ඒ් ආසාව ද සමඟින්ම, නිවරදිව පඩියට අඩිය තැබීමට එවර හැකි වූ මුත් මා සිටි පඩිය පහළට ගමන් කිරිමට පටන් ගත් සැණින්ම ඒ අතෙහි ග්‍රහණය මුදා හලෙමි.


එවර අප ඇතුලු වූ ශාලාව නොයෙකුත් ආකාරයේ ගැහැණුන් ගෙන් සහ පිරිමින්ගෙන් ද කුඩා දරුවන් සහ යෞවන යෞවනියන්ගෙන් ද විශේෂයෙන්ම ආදරවන්තයන් යැයි සිතිය හැකි අයගෙන්ද පිරී පැවතුණ අතර , එහා මෙහා යන සෙනඟටත් වඩා වැඩි පිරිසක් වූයේ කුඩා මේස වටා වූ පුටු වල වාඩී ආහාර ගනිමිනි. මාගේ ලෝකය විශ්මයෙන් කුතුහලයෙන් සහ ආදරෙයන් පිරී තිබූ විශාල එකක් වූවත් එතැන් සිටි සියලු දෙනාගේ ම පාහේ ලෝකය ඒ මේස වල තමා හා සිටින්නා කෙරෙහි පමණක් කේන්ද්‍ර වී තිබෙනු දැක මම සැමදා මෙන්ම ලැජ්ජාවට පත් වූවෙමි.ගමේ මිනිසුන්ගේ කුඩා ලෝකය , කොළඹ ආ විට අපරිමිත ලෙස විශාල වන්නට පටන්ගන්නා මුත් කොළඹ සිටිනා මිනිසුන්ගේ ලෝකය තමන් සමඟින් සිටිනා පුද්ගලයාට පමණක් සීමාවීම නිසාදෝ ඔහුද හරියට හැසිරෙන්නේ මෙහි සිටින්නේ මාත් ඔහුත් පමණක් යැයි සිතා මෙනි.


“ මොනව ද කන්නේ ? සිංහල කෑම කනව ද , පිටරට කෑම කනවද ?“


මෙවැනි අවස්ථා වල දී සැමවිටම මා අසරණ වන ප්‍රශ්නය ඔහු අසන්නේ වෙනදා මෙන්ම නොවන පිළිතුරක් බලාපොරොත්තුවෙනි.


වෛවාරන මිනිසුන්ගේ අපූර්වත්ය නැරඹිමට ඉඩක් නොතියාම කෑම වලින් පිරි භොජුන් හලක් වෙත ට නෙත් යොමන්නට සිදු විය.


මිනිසුන්ගේ වෛවාරන වලටත් වඩා කඩයේ වූ කෑම සියළු අතින්ම විචිත්‍රවත් බවක් ඉසිලීය. කෙසෙල් කොළයේ එතූ පුංචි කෑම පාර්සලයේ පටන් , නොයෙකුත් අන්දමේ සිංහල කෑම වර්ග වලින් පුංචි ලස්සන කඩය පිරී තිබුණි.


කෑම පිළිගන්වන්නට ද , කෑම පිළිබඳව සියළු රස රහස් එළි කරන්නට ද සිටියේ මැනවින් හැද පැළඳ ගත් තරුණ මහත්තරුන් කීප පොලකි. ඔවුන් කෙතරම් පිළිවලට සිටියා ද යත් ඔවුන් දැක්වූ ආචාරශීලීභාවය සහ ඉවසිලිවන්තභාවය මා තුල කෑම දැකීමෙන් හට ගත් නොයිවසිලිමත්භාවය මැඩලීමෙහි සමත්විය.


“ මොන ද කියන්න කන්නේ “


කීපසැරයක් ම ඇසූ ඒ පැණයට පිළිතුරක් සොයා ගත් නොහැකිව අසරණ වූ මට අවසානයේ දී සොයා ගත හැකි වූයේ ඉතාම ජනප්‍රිය මෙන්ම කටට දිවට හුරු වූ එකම කෑම වර්ගය වූ “ ෆ්‍රයිඩ් රයිස් “ පමණි.


“ බුරියානි කමු ද ? “


“ බුරියානි එපා “ දෙවරක් නොසිතාම පිලිතුරු දුන්නේ බුරියානි වලට නොකමැත්තෙන් නම් නොවේ.


“ඔයා යන්න ටේබල් එකකට “


මිනිසුන් විසින් අයිතිකර ගෙන සිටි කුඩා මේස සිසාරා නෙත් හෙලූවද “හිස් තැනක් “ නම් ඒ කොතනකවත් නොවීය. ඒ සියළු දෙනා අවට සිටියවුන් ගැන කිසිත් නොවිමසමින්ම තම තමන්ගේ ලෝක සහ තම තමන් සමඟ පැමිණියවුන්ගේ කුඩා ලෝකවලට වී කෑම කමින් , කතා කරමින් සහ විටෙක සිනා සෙමින් සතුටින් ද ඇතැමෙකු අත රැදි ජංගම දුරකතනට එඹෙමින් ද , කමින්ද , බොමින් ද මේස වටාම වාඩි වී සිටිති.


එක් කොණක වූ මේසයක් හිස්වත්ම එහි භාරකාරකත්වය පවරා ගත් මා රිසිසේ අවට සිරි නැරඹීමට පටන් ගත්තෙමි.


ඔහු සිටිනා කෑම කඩය පමණක් නොව දිගින් දිගටම එක පෙළටම වූයේ වෛවාරණ ආහාර පාන වර්ග බව ත් ලෝකයේ දසදිග රටවල් වල ආහාර සියල්ලක්ම ඒ එක් එක් කුඩා වෙළඳ සැල් වල විකිණිමට ඇති බවත් දැක ගන්නට හැකි වූයේ සෙනඟ පිරි මිනිසුන් අතරිනි.


මා කවදත් උන්හිටි ගමන් ඔහු ඉදිරියේ ප්‍රාතිර්භුත වී ඔහුව පුදුමයට පත් කරන්නාක් මෙන්ම , ඔහුද ඒ සෑම විටකම මෙවැනි ස්ථාන වෙත මා එක්කරන් විත් මා පුදුමයෙන් පුදුමයට පත් කරයි.



මීට පැය කිහිපයකට කලින් මා සිටියේ රාජකාරි මට්ටමේ හමුවක අවසන් පැය කිහිපයේ ය. රාජකාරි රැස්වීමේ මුලසුන හෙඹ වූ අය විසින් රැස්වීම කියු වේලාවටත් වඩා ඉතා වේලාසනින් නිම කිරීම නිසා මා සිතට ආවේ මුරණ්ඩු සිතුවිල්ලකි.


ඉන් පැයකට පසුව ඔහුගේ ඔෆීසි දොරකඩ හමුවේ මා ප්‍රාතිභූර්ත විය. නමුත් නියමිත දොරටුව සොයා ගත නොහී අසරණ වූයෙන් කලකින් ඩයල් නොකල අංකය සෙවීමට ඩයල් නම්බර් තීරුවේ පහළටම යාමට සිදු වූයේ ඔහුගේ අංකය කිසිදාක සේව් නොකරන්නෙමියි සිතා අවසන් වරටත් දුරකතන නාමාවලියේ ස්ථිර මතකයෙන් මකා දැමූ බැවිනි.


දෙවරක් ඩයල් උවත් පිළීතුරක් නොලද තැන්හි යළිත් ආපසු ආමඟට හැරී පියවර කිහිපයක් යත් ම ජංගම දුරකථනයේ දෙදැරීම දැනුනේ හදවතට ය.


“මම ඉන්නේ චෛත්‍ය යට “


“ ඔහොම ඉන්න . හෙලවෙන්නෙවත් නැතිව ඔතනම ඉන්න“ ඔහු එසේ කියන්නට ඇත්තේ මා සැමදාම ඔහුගේ උපදෙස් පරිදි අසා ගන්නා කොළඹ පාරවල් සැමදාම වරද්දා ගන්නා බැවින් වන්නට ඇත.ඔහු ඔතනින් වමට කීවොත් මා ගොස් ඇත්තේ දකුණටය. ඔතන ඉදල ඉස්සරහට එන්න කීවොත් මා යන්නේ පිටුපසටය. මා එකල එතරම්ම මෝඩ කෙල්ලකි.


එතනම නැවතුන මා බෙල්ල කරකවමින් දෑසට පෙනෙන සියළුම පාරවල් වෙත එබිකම් කළේ ඒ අපූරු රුව කොහෙන් හෝ මතුවන බව පසක් වූ බැවිනි.


විනාඩි කිහිපයකින් වසර ගණනක් නොැදක සිටියත් , යොදුන් ගාණක් දුරක සිටියත් හදුනා ගත හැකි ඒ ගමන් විලාශයත් , ඒ රුවත් , ඔහුට හඳනා ගත හැකි වූ මා රුවත් දැන් දහවල් ආහාරය ගනිමින් සිටිමු.


බොහෝ කලකට පසුව මුරණ්ඩු තීරණ ගනිමින් මා මෙසේ ඔහු බැලීමට එන්නේ නෙත පුරා ඔහු දැක ගැනීමට මිසක බඩපුරා කෑමට නොවන බැව් කොතෙකුත් පැවසූවත් ඔහු එය කණකට නොගන්නා බැවින් ද , ඊටත් වඩා මාහා එක්ව රසැති කෑම ගැනීම ඔහුට සතුටක් ගෙනෙනා බැව් දැනුන බැවින් ද මා තවදුරටත් ඔහුගේ මේ අපූරු පුරුද්දට හරස් කැපීම අත්හැර දැමුවෙමි.


කතා කල වචන ගණන විස්සකටත් වඩා අඩුවූවත් වෙන්වී යාම සැමදා මෙන් හිත නොසන්සුන් කරන්නටම විය. ඔහු හා කතා කිරීමත් ඔහුගේ කතා වලට සවන් දීමත් මා ප්‍රිය කළ නමුදු කිසිදු දිනක හිතේ හැටියට ඉටු කර ගත නොහැකි වූයේ ඔහුත් මමත් දෙදෙනාම වැඩි කතා නැති ගොළුවන් වූ බැවින් වන්නට ඇත.නමුත් ඔහු නිතර මා මතම වරද පටවන්නට විය. " ගෑණු තමයි ඉවරයක් නැතිව කතා කරන්න ඔ්නි.පිරිමි ඉන්නෙ අහන් ඉන්න.කොහෙද ඉතින් ඔයා ගොළු හදවත නේ "


ආහාර ගෙන අවසන් වූ විගස මේසයට ගෙන ආවේ මා ඉදිරියේ සිටිනා ඔහුගේ මුහුණවත් හරියට නොපෙන තරමට උස අයිස් ක්‍රීම වීදුරුවකි. එය දුටු මාගේ බැල්ම දුටු ඔහු යන්තමින් සිනා සෙනවා පෙනුන නමුත් " මේක කන්නෙ කොහාටද " මම ඇසුවෙමි. ඒ වන විටත් ඔහු ඔහුගේ අයිස් ක්‍රීම් වීදුරුවේ බාගයක් හිස් කර අවසන් අතර යාමට හදිසි බැව් ඔරලෝසුව දෙස බැලීමෙන් හඟවන්නට විය.


දෙවරක් ආ ගිය දුවන පඩිපෙල පයට හුරු ඇතැයි සිතු මා ඔහුගේ අතගැනීමට නොගිය බැවින් පය පැටලී වැටෙන්නට යද්දි අසමතුලිත සිරුර සමතුලිත කළේ ඔහු වුවත් , එය නොසලකාම ඉන් උඩ පඩියකට ගොඩ වූ මා හට පඩියෙන් බිමට බැස්ස පසු මුහුණ දෙන්නට වූයේ මහ අකරතැබ්බියකටය. මා වටේ මිනිස්සු එක ඒක දිහාවට පිය නගති. ඔවුනට මා ගැන වගේ වගක් නැත. මෙයින් ඒළියට යන ක්‍රමයක් ද මා දන්නේ ද නැත. ඔහුද පෙනෙන්නට නැත. කරක කරකා බැලුවත් නාදුනන මිනිසුන් මැද්දේ මා අතරමන් වී ඇත. පැය කාලක් හෝ විනාඩි විස්සක් පමණ ගත වූ පසු කවුදෝ මගේ කණ ළඟින්ම " යන් " කියනු ඇසුන බැවින් පියවි සිහියට ආවත් හිතේ තරහට පහරක් ගසන්නට වත් ඉඩක් නොගෙනම ඔහුගේ පසු පසින් ඇදුනෙමි.


මා බසයට නංවා ඔහු නැවත රාජකාරියට යන්නට ඇත. බස් එකට නැග වාඩි වෙනකම්වත් ඔහු නොසිටිනා බැව් මම දනිමි. කරක කරකා කොතරම් බැලුවත් ඔහු ආගිය මඟක් කිසිදා මා දැක නැත.කොටින්ම ඔහු මා නොසිතූ වේලාවක මේ මුලු ලොවම හැරදා ගියේ ය.


ඔහු පාලනය කල නොහැකි තරමේ උග්‍ර දියවැඩියාවෙන් පෙලුන බවත් මා සෙනඟක් මැද්දේ අතමන් කර දමා ඔහු යන්නට ඇත්තේ සිගරට් එකක් බීමට බවත් මා දන්නේ ඔහු මිය ගොස් ද කලක් ගතවූ පසුව ය.



අප ආදරය කරනා අය ගැන ඇත්තටම අපි දන්නේ මොනවා ද?


දුවන පඩිපෙල් මෙන් මතුව මතුවී උඩට විත් සැඟව යන සිතුවිලි අතර ඔහු තාමත් ඉන්නා බව දන්නව නම් !


Saturday, 15 June 2024

නුඹේ තනිකඩ පෙම්වති


 


බඹරු සමණළ පැණි කුරුල්ලන්

නොදුටු මල් ඇත මධු පිරී

දිනෙක බඹරෙකු හදුන ගත්තත්

ප්‍රමාදය වෙයි සිත රිදී


මලක මදහස පැහැය මෘදු බව

වියැකුණත් දින කල් ගෙවී

හදවතක ආදරය කල්ගිය

මධුවිතකි රස තැන් හිමී


නුඹට ළං වී රොන් පුදන්නට

සිත ගතත් ඇත මුත් සැදී

නුඹව කැඳවන් එන්නෙ කොහොමද

අගුලු දොරවල් තව ඇතී


නුඹ කුරුල්ලෙකි සරිකරන්නට

කුඩූවක් උර මත ඇතී

නුඹට ආදර හිතැති මම වෙමි

ඔබේ තනිකඩ පෙම්වතී


“For as long as I exist, you will always be loved..”


මම

ඔබේ තනිකඩ

පෙම්වතී

-wath-

Tuesday, 28 May 2024

8AM Metro

 


ජීවිතේ සමහර කාල වලදි අපට අපේ ජීවිතය එපා වෙන කොට ඒකාකාරි වෙන කොට කලකිරෙන කොට ඔයා වාසනාවන්තයි නම් ඔයාට හම්බෙනවා ඔයාගෙ ඒ කාලකණ්නි කියල හිතෙන ජීවිතේ ගොඩදාන කෙනෙක්. ඇත්තටම ඒක එයාවත් අපිවත් දන්නෙ නැති වුනාට සීමිත කාලෙකට අපේ ජීවිතේට අහඹු ලෙස එහෙම එන කෙනෙක් අපිට අපේ ශක්තිය හැකියාව පෙන්නල අපිව සතුටින් තියනවා. ඒත් අපි දන්නවා ජීවිතේ සමහර බැඳීම් වගකීම් එක්ක අපට ඒ සම්බන්ධකම් ජීවිතේ පුරාවට අත් අල්ලන් යන්න විදියක් නෑ කියල. අපිට ගෙවාගන්න අමාරුම කාලවල් අත් අල්ලන් යන්න උදව් වුන එහෙම අය අපි එගොඩ උනාට පස්සෙ අපේ අත අතාරිනවා.


" සමහර වෙලාවට මිනිස්සු දෙන්නෙක්‍ රාත්‍රියේ ගමන් කරන යාත්‍රා දෙකක් වගේ.අහම්බෙන් සැරයක් දෙසැරයක් හම්බෙන ,ඊට පස්සෙ ජීවිත කාලෙටම කවදාවත් හමුනොවන."


" පිරිමියෙක්  ගැහැණියක් අතර එහෙම බැඳීමක් තියෙන්න බැරිද ,එකිනෙකාව විනිශ්චය කරන්නෙ නැතිව ඕන දෙයක් වගේම හැමදේම කියන්න පුළුවන් විදියෙ , කිසිම රහසක් බොරුවක් නැති  , එකිනෙකාගෙ කතා අහගෙන තේරුම් ගෙන සමගියෙන් ඉන්න . 


මම ඔයාගේ හමුවීම 

ඔයාගෙ යාළුකම 

ඔයාගෙ ආදරය 

මගේ වාසනාව කියල පිළිගන්නවා.


මගේ ජීවිතේ සතුටින් තියල ජීවිත කාලය දිගු කරාට ස්තූති වන්ත වෙනවා.


ඔබේ මතකය , දුන්න ආදරය හදවතේ තැනක මියෙනකම් සුරක්ෂිතව තියාගෙන ඉන්නවා.


ඔයාගෙ ජීවිතයට සුබ පතනවා.


Watching 8am metro

Thursday, 16 May 2024

A man's kiss is his signature.


 දකින හැමදාකම, කොච්චර වටේ පිටේ මිනිස්සු හිටියත් , තැන කොතැන වුනත් අද මේ දැන් දැක්ක වගේ  එක අතකින් ළඟට කරන් අනිත් අතින් තුරුළු කරන් නලල ඉඹින්න හැමෝටම බෑ. කොටින්ම ඔය වයසෙ පිරිමියෙක්ට කොහෙත්ම බෑ. එන්න ඒ වගේ බැරිම වෙලාවක උනත් මට ආදරේ වෙලා අපි හම්බුන පළවෙනි දවසෙම , දෙනෝදාහක් යන එන මහ පාරක අයිනක නොසිතූ වෙලාවක මට දුන්න ඒ හාදුව කවදාවත්ම අමතක වෙන්නෙ නෑ . එදා මම කකුල් දෙකෙන් කොහොම හිටගෙන හිටියද කියල හිතා ගන්න බැරි නළල දිගේ වැදුන ඒ සුන්දර විදුලිය ඇඟ දිගේ ගිහින් පොළවට ලුහුවත් උන නිසා.

මම වගේ වයසක ඉන්න කෙනෙක් ට මගෙ යෞවන කාලේ , මගෙ තරුණ කාලෙවත් නොලැබුන උණුසුම් ආදරයක් ඔයා මට දුන්නෙ එහෙමයි.

ඇත්තටම වෙන කවුරුවත් මට එහෙම ආදරේ කරල නෑ. මේ ලෝකෙ හැම ගැහැණියකටම ලැබෙන්න ඕන ඔයා වගේ ආදරේ කරන පිරිමි කෙනෙක්.

රළු පෙනුම එක්ක නොගැලපෙන තරම් සෞම්‍ය ආදරයක් ඔයා ළඟ තිබ්බා. මන් කවදාවත් හිතුවෙ නෑ පිරිමියෙක්ට එච්චර ප්‍රේමණීය වෙන්න පුළුවන් ද කියල , මොකද කියනව නම් මට හමුවුන සෞම්‍ය පෙනුම තිබ්බ පිරිමින්ගෙ පවා තිබ්බෙ බොහොම රළු ආදරයක්. ඔයා තරුණ කාලේ කොයිතරම් නම් ප්‍රේමණීය ප්‍රේමවන්තයෙක් වෙන්න ඇද්ද කියල හිතුන මගෙ හිත හීල්ලුවා. 

ඒත් අපි දෙන්න මුණ නොගැසුණ  තරුණ කාලේ අමතක කරත් , අපි දෙන්න මුණ ගැහුණ මේ මැදිවියේ උනත් ඔයාගෙ ඒ උණුසුම් ආදරේ විඳින්න මන් පිං කරල තිබ්බෙ බොහොම පොඩි කාලයයි.ඒ පොඩි කාලයත් මට මහමෙරක් වගේ. එකාතකට ආදරේ කරන අය එකට ජීවිතේ ගත කරන්න හමුවෙනවට වඩා අපේ කෙටි කාලීන ප්‍රේමණීය හමුව ජීවිතේ තුරාවට ඒ විදියටම රැදිල තියේවි.

පහුගිය නිවාඩු කාලේ මම බලපු Love again කියන ෆිල්ම් එකේ මෙන්න මේ පුංචි කොටස මට ඔයාව මතක් කරා ... ඒ ඇයි කියල ඔයා දන්නවා...




ඔයාගෙ හාදු ගැන ලියන්න හිතන් ආවත් ඒ හාදු ගැන ලියන්න මේ තැන , මේ වෙලාව හොඳටම මදි.

ආයෙ කවදහරි අපි හමුවුනොත් මම ඒ හාදු බලාපොරොත්තු උනත් , ඔයා ඒව නොදුන්නට මන් තරහ නෑ කියල විතරක් කියන්නම්.... 


Wednesday, 15 May 2024

“When someone you love becomes a memory, the memory becomes a treasure.” “


 ලියන්නට ලියවෙන්නට කිසිවක්ම නොහැකි කාලයක සම්මානනීය බ්ලොග් ලිවිල්ලක හිමිකාරියක කරන්නට තරම් මා දක්ෂයෙකු කරවූයේ ඔහුගේ පෙමයි.

ඉතා ගැඹුරින් බැඳුන, බිඳුන ප්‍රේමයක අග දී විරහව බෙදා ගැනීමට හෝ සිදු වූ කිසිවක් කියා ගැනීමට කිසිවෙක් නැති පරිසරයක මට පිහිටට ආවෙ බ්ලොග් ලිවිල්ලයි.

හිතේ ඔහු නිසා හට ගත් දුක වේදනාව දිය කර හැරීමටත් , ඔහු කිවු මුසා බස් නිසා ඇතිවූ කේන්තිය පහකර ගැනීමටත් ලියූ බ්ලොගයේ පෝස්ටු එකින් එක නැවත කියවූ පසුවත් එහි හමුවූයේ වයිරයක  තද පැහැය නොව ප්‍රේමයේම හඳුනා ගත නොහැකි  පැහැයකි.

එයින් ඔහු කෙරේ ම හටගත් ප්‍රේමය තව තවත් වර්ධනය විය , දුක තුනීවීම සමඟ, වඩ වඩා ඔහු කෙරේ බැදීමත් , ඔහු පැවසූ මුසාබස් සැබැවින්ම එසේ නොකීවානම් මට එවැනි අනර්ඝ ප්‍රේමවන්තයෙකු හමුනොවී තියෙන්නටත් හැකි බව ත් සෙමින් සෙමින් අවබෝධවත්ම එතරම් සාහසික මුසාවකට සමාව දීමට තරම් සිත දියුණුකරගත් මා ,  ලිවීමෙහි යම් හැකියාවක් ද නොදැනම උකහාගෙන තිබුණි.

අනෙක් අතට ඔහු කිසිදු විටක මාහට මුසාවක් පවසා නොතිබුන අතර එකම හේතුව වූයේ මුසාවට හේතුවන පිළිතුර ලැබිය යුතු පැනය මා විසින් නොවිමසා සිටීමය. එක අතකට එයට ලැබෙන පිළිතුර අප වෙන් කිරීමට තරම් වේදෝයි සිතා මා විසින් අසා සිටින්නට නොමැති වන්නට ඇත. මා දුරස් වේයැයි සිතා ඔහුද  අසන්නට කලින්  පිළිතුරක් නොදුන්නා වන්නටද පුළුවන. කෙසේ හෝ පසු කලක " මන් ඇහුවෙ නැති වුනාට ඔයාට ඒක කියන්න තිබ්බා " යෑයි මා කියූ විට " අනේ මන්දා.මට ඒක කියන්න හිතුන්නෑ.අනික මට හිතුනා ඔයා ඒ ගැන දන්නව කියල " ආදරයේදි වෙන් වන්නට කරුණු යෙදෙන කාරණා රැසක්ම අපි එසේ නොසලකා හරින්නෙමු. නමුත් ඒ ටික කලකටය.ප්‍රේමයෙන් හිත් උතුරා පිටාර ගොස් අවසන් වන විට පතුලේ තැන්පත්වුන ඔවැනි හේතු පෙරට වඩා හොඳින් පෙනෙන්නට ගන්නා තෙක් පමණය.

පසුකාලීනව ඔහු හා නැවත ප්‍රේමයෙන් බැදෙන්නට ද එයම හේතු වූවත් ලින්ක් පිට ලින්ක් යවා මා ඔහුගෙන් විතැන් වූ කාලයේ ඔහු වෙනුවෙන් ලියූ දෙ මේ යැයි පෙන්නූවත් සිඟිති දැරියක තම ඇතැති පාට පාට සීනීබෝල රැස් වැඩිහිටියෙකුට පෙන්වන විට වැඩිහිටි මිනිසා විසින් දරුවා වෙත පාන " ඕව නම් මොනාද බබෝ "වැනි සිනාවෙන් එපිටට කිසිදු අගය කිරීමක් නොලැබුනත් ඔහු මිය ගොස කාලෙකට පසුව ඔහුගේ ළඟම යෙහෙළියක පැවසූ වදනින් මා පුදුමයට පත්වුන බව නම් කියන්නට ඕනමය.

" එයා ට හරි ලස්සනට ලියන්න පුළුවන් " ඔහු ඇය හා මා ගැන එසේ කියා තිබුණි.

අද ඔහු නැත.

ඔහුගේ අයහපත් සෞඛ්‍ය පුරුදු , නිසි ලෙස නොලැබුන ආදරය , නිසිකලට නොලැබුන සොයා බැලීම් හමුවේ දරුණුව ගොස් අවසානයේදී ඔහු ඔහුද නොසිතූ මොහොතක යන්නට ගියේය.

නමුත් එදා ඔහු පැවසූ බොහෝ දේහි අරුත් නිසිලෙස මට වැටහෙන්නේ ඔහු නැතිකාලයේ වීම හිත පාරවයි.

පිරිමියෙකු බලාපොරොත්තු වන ආදරය මේ යැයි කියා ඔහු නික්ම ගියේ පුලුවන් නම් තව කෙනෙකුට ඒ අඩුපාඩු නොමැතිව ආදරය කර පෙන්වන්නැයි මට අභියෝග කරමින් දෝ යැයි මට සිතෙන්නේ ඔහු නික්ම යාමට ආසන්න කාලයේ ප්‍රේමවන්තයින් රැසක් පසුකරමින් විත් නැවතත් ගැඹුරු ප්‍රේමයක පැටලෙන්නට ඔහුගේ වියෝවම හේතුවක් වූ බැවිනි.

ඉතින් පෙම්වත ඔබ මෙන් ඔහු මට මුසාබස් නොපැවසූවත් ඔබමෙන්ම ඔහුද මට කිසිදා ළඟාකර ගත නොහැකි දුර අහස පුරා පිපුන පුන්සඳක්ම ය......

ඔබ මා හට හිමිකර දී ගිය අරුම පුදුම නිවුන හිතෙන් මා සඳට ප්‍රේම කරමි.


සෙනෙහස ගඟුලක් ඔබට පුදන්නෙමි
බිඳුවක් ඔබගෙන් ලබන නියා
සෙනෙහස උතුරන මහ සයුරක් වෙමි
වෙරළක් වී ඔබ දකින නියා

ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි

දුලන සඳ ලෙස ගුවන අරා
ළා හිරු මඩලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා


කාලය කෙතරම් ... නපුරුද සොඳුරිය

ඔබ මගේ හදවත පැහැර ගත් පෙම්වතාගේ රුවට සමාන යැයි හැඟුන බැවින්දෝ එදා මෙදා තුරම ඔබ මගේ ක්‍රශෙක විය.

නමුත් ඔහු


මාගෙන් දුරස් වෙද්දී , කාර්‍ය බහුල වෙද්දී ,යන්න් එන්නටම දවස් මදි  වෙද්දී, රෑ දවල් වෙනසක් නැතුවම වැඩ අතර ගෙවෙද් දී ඔහු ඔබ ට  වඩා හැඩැති කෙනෙකුන් බවත් ඔහු ඔබවැනි යැයි මා සිතා සිටියේ ඇස් දෙක කටේ දාගෙන හිටපු නුහුගුණේ වැඩි වෙලාවක විය හැකි බවත් මට සිතුණි. 

කෙමෙන් කෙමෙන්  මා ඔහුගෙන් දුරස් වූයේ අතිශය සෙමෙන් ගෙවෙන සරල සුන්දර මගේ දවස් සහිත ජීවිතය සමඟ අතිශය සංකීර්ණ  , වේගවත් දින ගෙවූ ඔහුගේ දිවිය මාහට දරාගත නොහැකි වීමටත් වඩා ඔහුගේ වේගවත් කාර්‍ය බහුල තරඟකාරී ගමනට මා වැනි සෙමින් යන්නියක ඔහුට විය හැකි විශාලතම මානසික බාධාව විය හැකියැයි මට සිතුණ බැවිනි.

ප්‍රතික්‍රියාවක සීශ්‍රතාවයට ද බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ එහි සෙමින්ම සිදුවන ක්‍රියාවයි. ඉතින් විද්‍යාත්මකවද පහදා ඇති සත්‍ය එය නම් සෙමින් ගෙවෙන සරල නිහඬ දවස් වල පය වැදී ඔහුගේ ගමන බාල කරවීම ඔහුට සැබැවින්ම ආදරේ කරනා මා වැනි කෙනෙකුන් ට ඔහු වෙනුවෙන්  කළ හැකි නොහොබිනාම වැඩකි .

පෙර දවස රජු කෙනෙකුන් පලාගිය අශ්ව රථයේ බර වැඩිවී වේගය මදවී හතුරන්ට අසුවීමට යන විට එම අස්‍ රියේ බර සැහැල්ලු කරන්නට එයින් බට රජ බිසවක සේ මාද හිත හදාගන්නෙමි. මා නැතත් ඔහු ඔහුගේ ගමන යනු ඇත. මා සිටිනා විටදි වඩා ඒ ගමන පහසුවක් වනු ඇත.

මා මෙතැනම නුඹ ගේ සෙවන යට නතර වෙන්නම්...........

මට නුඹ නැතිවට කමක් නැත

නුඹ දුන් මතක සිත පුරාද

නුඹ දුන් හාදු ගත පුරාද

නුඹ දුන් සුවඳ සිහින පුරාද පුරෝගනිමි

අඩුවට නුඹේ රුව නොව ,නුඹ වැනි යැයි මා සිත රවටා ගත් ඔහුගේ රුව විඳිමි.

ප .ලි:- ඉස්සර නම් නුඹ ඇස් කණ්නාඩි පැලදුවේ නැත. එය ආඩම්බරයක් කර සැලකූ නුඹේ ඒ ආඩම්බරය නැති කිරීමට මම අකමැත්තෙමි.

රැවුල කැපූ දිනට නාදුනන වෙනත් අයෙකු තරමට වෙනස් වන ඔබේ රුවට වඩා අකීකරු රැවුල වසා සිටින ඔබේ වත මා ලොව දැකීමට කැමතිම රූපයයි. නොලැබුනත් , එය අදටත් එසේමය.

ඉස්සර නුඹේ රුවුල් ගස් දෙක තුනක් සුදු වූවත් අනිකුත් සමවයස් සහෘදයන්ගේ රැවුල් පමණක් නොව හිසකෙස් පවා සුදෙන් වැසී යද්දී , කළු පැහැති ඝනැති ඔබේ හිස කෙස් අතරින් මා ඇඟිලි යැවීමට අද මට නොහැකි වූවත් නැවත අහම්බෙන් දකිනා දිනක වුවත් ඒවා ඝණ කළු පාටින් දකින්නට මම කැමැත්තෙමි. 

ගිනි දුඹුරු පැහැති, මා දකිනා විට දිදුලන  දෑසත්

කළුම කළු සුන්දර  මූණත්

මුහුණ පුරා වැවුන රැවුල අතරින් පෙනෙන 

බෙල්ල ඇල කර සිනාසෙන සුදුම සුදු සිනාවත් 

තවමත් මා මේ ලොව දකින්නට කැමතිම ඉස්තරම්ම රූපයයි....

බල්ලට ගියපු සෙනසුරාදා ව හෙවත් ශැඩෝ දවස්

 බල්ලට ගියපු සෙනසුරාදාව.... ============ මට දැන් මේ කෝලම් කරන්න කෙනෙක් නෑ. සෙනසුරාදා තමයි උගෙ දවස. ඒ වගේම හොඳට ඉර පායල , සැරට අවුව වැටෙන සෙන...