Wednesday 15 May 2024

“When someone you love becomes a memory, the memory becomes a treasure.” “


 ලියන්නට ලියවෙන්නට කිසිවක්ම නොහැකි කාලයක සම්මානනීය බ්ලොග් ලිවිල්ලක හිමිකාරියක කරන්නට තරම් මා දක්ෂයෙකු කරවූයේ ඔහුගේ පෙමයි.

ඉතා ගැඹුරින් බැඳුන, බිඳුන ප්‍රේමයක අග දී විරහව බෙදා ගැනීමට හෝ සිදු වූ කිසිවක් කියා ගැනීමට කිසිවෙක් නැති පරිසරයක මට පිහිටට ආවෙ බ්ලොග් ලිවිල්ලයි.

හිතේ ඔහු නිසා හට ගත් දුක වේදනාව දිය කර හැරීමටත් , ඔහු කිවු මුසා බස් නිසා ඇතිවූ කේන්තිය පහකර ගැනීමටත් ලියූ බ්ලොගයේ පෝස්ටු එකින් එක නැවත කියවූ පසුවත් එහි හමුවූයේ වයිරයක  තද පැහැය නොව ප්‍රේමයේම හඳුනා ගත නොහැකි  පැහැයකි.

එයින් ඔහු කෙරේ ම හටගත් ප්‍රේමය තව තවත් වර්ධනය විය , දුක තුනීවීම සමඟ, වඩ වඩා ඔහු කෙරේ බැදීමත් , ඔහු පැවසූ මුසාබස් සැබැවින්ම එසේ නොකීවානම් මට එවැනි අනර්ඝ ප්‍රේමවන්තයෙකු හමුනොවී තියෙන්නටත් හැකි බව ත් සෙමින් සෙමින් අවබෝධවත්ම එතරම් සාහසික මුසාවකට සමාව දීමට තරම් සිත දියුණුකරගත් මා ,  ලිවීමෙහි යම් හැකියාවක් ද නොදැනම උකහාගෙන තිබුණි.

අනෙක් අතට ඔහු කිසිදු විටක මාහට මුසාවක් පවසා නොතිබුන අතර එකම හේතුව වූයේ මුසාවට හේතුවන පිළිතුර ලැබිය යුතු පැනය මා විසින් නොවිමසා සිටීමය. එක අතකට එයට ලැබෙන පිළිතුර අප වෙන් කිරීමට තරම් වේදෝයි සිතා මා විසින් අසා සිටින්නට නොමැති වන්නට ඇත. මා දුරස් වේයැයි සිතා ඔහුද  අසන්නට කලින්  පිළිතුරක් නොදුන්නා වන්නටද පුළුවන. කෙසේ හෝ පසු කලක " මන් ඇහුවෙ නැති වුනාට ඔයාට ඒක කියන්න තිබ්බා " යෑයි මා කියූ විට " අනේ මන්දා.මට ඒක කියන්න හිතුන්නෑ.අනික මට හිතුනා ඔයා ඒ ගැන දන්නව කියල " ආදරයේදි වෙන් වන්නට කරුණු යෙදෙන කාරණා රැසක්ම අපි එසේ නොසලකා හරින්නෙමු. නමුත් ඒ ටික කලකටය.ප්‍රේමයෙන් හිත් උතුරා පිටාර ගොස් අවසන් වන විට පතුලේ තැන්පත්වුන ඔවැනි හේතු පෙරට වඩා හොඳින් පෙනෙන්නට ගන්නා තෙක් පමණය.

පසුකාලීනව ඔහු හා නැවත ප්‍රේමයෙන් බැදෙන්නට ද එයම හේතු වූවත් ලින්ක් පිට ලින්ක් යවා මා ඔහුගෙන් විතැන් වූ කාලයේ ඔහු වෙනුවෙන් ලියූ දෙ මේ යැයි පෙන්නූවත් සිඟිති දැරියක තම ඇතැති පාට පාට සීනීබෝල රැස් වැඩිහිටියෙකුට පෙන්වන විට වැඩිහිටි මිනිසා විසින් දරුවා වෙත පාන " ඕව නම් මොනාද බබෝ "වැනි සිනාවෙන් එපිටට කිසිදු අගය කිරීමක් නොලැබුනත් ඔහු මිය ගොස කාලෙකට පසුව ඔහුගේ ළඟම යෙහෙළියක පැවසූ වදනින් මා පුදුමයට පත්වුන බව නම් කියන්නට ඕනමය.

" එයා ට හරි ලස්සනට ලියන්න පුළුවන් " ඔහු ඇය හා මා ගැන එසේ කියා තිබුණි.

අද ඔහු නැත.

ඔහුගේ අයහපත් සෞඛ්‍ය පුරුදු , නිසි ලෙස නොලැබුන ආදරය , නිසිකලට නොලැබුන සොයා බැලීම් හමුවේ දරුණුව ගොස් අවසානයේදී ඔහු ඔහුද නොසිතූ මොහොතක යන්නට ගියේය.

නමුත් එදා ඔහු පැවසූ බොහෝ දේහි අරුත් නිසිලෙස මට වැටහෙන්නේ ඔහු නැතිකාලයේ වීම හිත පාරවයි.

පිරිමියෙකු බලාපොරොත්තු වන ආදරය මේ යැයි කියා ඔහු නික්ම ගියේ පුලුවන් නම් තව කෙනෙකුට ඒ අඩුපාඩු නොමැතිව ආදරය කර පෙන්වන්නැයි මට අභියෝග කරමින් දෝ යැයි මට සිතෙන්නේ ඔහු නික්ම යාමට ආසන්න කාලයේ ප්‍රේමවන්තයින් රැසක් පසුකරමින් විත් නැවතත් ගැඹුරු ප්‍රේමයක පැටලෙන්නට ඔහුගේ වියෝවම හේතුවක් වූ බැවිනි.

ඉතින් පෙම්වත ඔබ මෙන් ඔහු මට මුසාබස් නොපැවසූවත් ඔබමෙන්ම ඔහුද මට කිසිදා ළඟාකර ගත නොහැකි දුර අහස පුරා පිපුන පුන්සඳක්ම ය......

ඔබ මා හට හිමිකර දී ගිය අරුම පුදුම නිවුන හිතෙන් මා සඳට ප්‍රේම කරමි.


සෙනෙහස ගඟුලක් ඔබට පුදන්නෙමි
බිඳුවක් ඔබගෙන් ලබන නියා
සෙනෙහස උතුරන මහ සයුරක් වෙමි
වෙරළක් වී ඔබ දකින නියා

ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි

දුලන සඳ ලෙස ගුවන අරා
ළා හිරු මඩලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා


No comments:

Post a Comment

දුවන පඩිපෙල

   දුවන පඩි පෙළ ටයිල් අතුරන ලද පොළව යට සිට පඩි පේලි එකින් එක මතුව උඩට විත් ඉහළට පාවී යයි. ඔහු ඉන් එකක් කෙසේ තෝරා ගත්තේ දැයි නොවැටහුනත් , ඉන්...