Monday 13 February 2023

මියැදෙන්නට බලා හිඳපු ආදරයද මේ.....(වැලන්ටයින් ස්පෙශල් )

 -----------------

තවමත් බොඳවී පෙනෙන දෑස් පිටි අත්ලෙන් පිසලූ ඇය ඇස්පිය එකිනෙක තද කරමින් කිහිපවාරයක් දෙනෙත් පෑදුවාය. වට පිටේ පැවති නිහඬබව ත් සංසුන් බවත් මැද තමන් නිශ්චිතවම මිය ගොස් ඇති බැව් දැනී දෑස් පියාගන්නට සැරසෙන විටම දකුණතේ සියුම් වේදනාවක් ද , දැනී නොදැනෙන තෙල් බෙහෙත් සුවඳක් සමඟින් එක වරම දෑස් හැර බැලූ ඇයට දැක ගත හැකි වූයේ සියුම් චිත්‍ර  වලින් පිරී ගිය විචිත්‍රවත් සිත්තම්  සිවිලිමකි. 


වේදනාව ගෙන එන දකුණත දෙස බැලූ ඇයට දැකිය හැකි වූයේ ,සෙලවීමට නොහැකි ලෙසට හොඳින් වෙලුම් යොදා ආවරණය කර ඇති දකුණතයි.සම්පූර්ණ දකුණතම ඉහල සිට පහළටම වෙලා තිබූ අතර අතට ආධාරකයක් ද තබා ගැට ගසා තිබුනි.


තමා සිටින්නේ සයනක සැතපී බවත් සෙලවිය  නොහැකි දකුණතේ රිදුන් දෙන්නෙ කොතනදැයි හරියටම කිව නොහැකි බවත් කොටින්ම දැන් තමන් සිටින්නේ මරණයෙන් උඨ්ටාන වීද නැතිනම් නොමැරී දැයි පවා නිශ්චිතව සිතා ගැනීමට නොහැකි ව්‍යාකූල තත්වයක සිටි ඇය දෑස් වසා ගනිමින් වමතේ ඇඟිලි තුඩු වලින් නලතට තට්ටු කරන්නට වූවාය.පැටලුනු මතක අතරින් ගැලපෙන අවසන් මතකයක් සොයා ගත නොහැකී තැන ඇය වමතට බර දී උඩුකය කෙලින් කර සයනයෙන් වාඩි වූවාය.


විශාල කාමරය පුරා සිහින් සඳුන් සුවඳක් පැතිර ඇති බැව් ඇගේ නාසයට දැනෙන්නට වූයේ කාමරය පුරා සෙමින් නෙත් යවන විටයි. සයනයේ දකුණු පසින් වූ උසැති කුඩා මේසය මත වූ මැටි කෙන්ඩියේ පියන ඇර බැලූ ඇය ට තද පිපාසයක් දැනෙන්නට වූයෙන් වමතින් ඔසවා ගත් කෙන්ඩිය කටට ළංකර කට දෙපැත්තෙන් වතුර ගලා යද්දීම ඉතා ගිජු ලෙස වතුර බොන්න විය.කෙන්ඩිය මේසය මත තබා වමතින්ම කට පිසදා ගත් ඇය තමන්ට සම්මුඛව පෙනුන රුව එක්වරම දුටුවේ එයින් සලිතව මුව මතවූ වමත ඉවතට ගන්නට පවා අමතකව ගොස් පුදුමයෙන් වික්ශිප්ත දෑස්  ඒමතම අලවා ගෙන සිටියාය.


ඒ කැඩපතකියි තේරුම් ගන්නට ඇයට සෑහෙන වේලාවක් ගතවන්නට ඇත.


තමන් මෙතරම් පුදුමයෙන් බලා සිටින්නේ කැඩපතින් පෙනෙනා තමන්ගේම රුව දෙස බව තේරුම් ගත් ඇය සයනයෙන් නැගි කැඩපතට තව තවත් ළං වූවාය. 


කැඩපත තුළින් දිස් වන තම රූපය ඇගේම ඇඟිලි තුඩඟින් අතගා බැලූ ඇය තමන් සැරසී සිටින්නේ සිටින්නේ තනිකරම සුදු පැහැ වස්ත්‍රයෙන් පමණක් බැව් ප්‍රතම වරට අවබෝධ කර ගත්තාය.


පිරුණු පපුව ආවරණය  කරමින් ඇඟ වටේ ගොස් ඇති සුදු පහැ අතේ වියන ලද රෙදි පටිය පිටුපසින් ගැට ගසා තද කර තිබුණි.යටිකය උදරය සෑහෙන ප්‍රමාණයක් නිරාවරණය වී තිබූ අතර බාල සුදු රෙද්දකින් ඉනත් දෙකකුල් වෙන් වෙන්වත් ඔතා රෙද්දේ වසන් කොන  ඉණට ඉදිරියෙන් ගෙන කකුල් දෙක අතරින් පිටුපසට ගෙන යළි පිටුපස ඉන කොටසේ තඳින් රදවා තිබුනි.


දකුණු කකුළ වටා ගොස් තිබූ සුදු රෙද්දේ එක් කොටසක් පිලිස්සී ගිය බවට සලකුනක් ඉතිරිව තිබූ අතර ඒ කොටස කකුල වටා  එතී තිබූ කොටසින් නිදහස්ව නමුත් රෙද්දට සම්බන්ධවී බිම දිගේ ඇදී තිබුනි.


ඇය බිමට නැවී වමතින් අහුලා ගත් ඒ රෙදි කොටස ඉණට තබා තද කරන්නට කලියෙන් පිලිස්සී තිබූ කොටස ඇගිලි අතරට තබා තෙරපන විට පිලිස්සී ගොස් තිබූ රෙදි කොටස් ගැලවී බිම වැටෙනවාත් සමඟම පියවුන දෑස් වලින් නැගි උණු කඳුළු වලින් ඇගේ කම්මුල් පිළිස්සෙන්නට විය.


වැසුන තෙත දෑස් හැර බලද්දි කැඩපතින් පෙනෙන ඇගේ රුවට අමතරව ඇය දුටුවේ කාමරයේ පිවිසුම් දොර අභියස සිට ඇය දෙස බලා සිටිනා ඒ තේජවන්ත දේහයයි.


ඔහු එතෙක් නිහඬව තමා දෙස බලා සිටින්නට ඇත.ඒ ඔහුගේ ස්වභාවය බැව් ඇය අවබෝධ කරගෙන උන්නාය. ඇය කැඩපතින් පෙනෙන ඔහුගේ රුව දෙස නොත් නොසලා බලා සිටින විට ඔහු දොර ළඟින් ඈත්ව කාමරය තුළ ඇය සිටි තැනට සෙමින් ඇවිද විත් මහා වෘක්ෂයක් සේ ඇය පිටුපසින් සිට ගත්තේය.


තව දුරටත් හැඟීම් තෙරපා ගෙන සිටීමට බැරි වූ තැන ඇය ඔහුගේ දෙසට හැරී ඒ ශක්තිමත් පපුව මත්තේ වැටී හඬන්නට වූවාය.


" ඔයා මාව බේර ගත්තා " 


ඇගේ නලල සිපගත් ඔහු , ශක්තිමත් බාහු යුගලයේ බර නොදැනෙන ලෙසට ඇය තව තවත් ලයට තුරුළු කර ගත්තේ දඬුමොණරයේ නැඟ අතීතයෙන් ද ඉතිහාසයෙන් ද සලකුණක් නොතබාම නොපෙනීම ගියෝය.


හිත් දැහැනන් වෙළි තිබුණු

නෙත් දැහැනේ ගලා හැලුණු

මියදෙන්නට බලා හිදපු

ආදරය ද මේ

හිරැ රහසේ කියා දුන්න

ආදරය ද මේ ‘’


නිල් කටරොලු නිල නැහැවුනු මල් බර මුදු සුව රැදවුන

තොල් පොති  කන පලද්‍රලන

ආදරය ද මේ

 නුඹ රහනසේ කියා දුන්නු

 ආදරය ද මේ’’


ගිමන් හරින දියඹ දිගේ

සුසුම් හෙළන වෙරළ ඉමේ

බැස යන හිරැ අඩිසි සදට රහස් කියනවා                         

සද ආදරයෙන් රටා මවනවා ‘’


හැමදාමත් වැලන්ටයින් දිනයක් වේවා.

ආදරය මුණ ගැසේවා...




Thursday 9 February 2023

හේ වලහෙකි

 හේ වලහෙකි,


උසය...මහතය..දැකුම් කළුය.


ඔහු ළඟ මා ඉතා කුඩා ජීවියෙකි.


හේ නිතර මා සමඟ පැටලි පැටලී එයි.


ඇතැම් විට ආදරයට ද


 තවත් විටෙක වලියට ද පැටලෙන මෙ වලහා ඒ සෑම විටම අවසානයේ දී  මා වසඟයට ගනී.


වලහෙක් වූවත් හේ ඉතා කසවසම්‍ ය. 


ආදරයෙන් අන්ධ වී ඇති බැවින් ඒ මට පෙනෙනා සැටි වන්නටද පුලුවන.


හේ ඉතා උණුසුම් වලහෙකු වන අතර නිතර නිතර කැලේ මලාක් මෙන් බොරුවට වැතිර නිදන අසරණ මිනිසුන්ට උදව් කරන්නේය.


කණට කොඳුරා උපදෙස් දෙන්නේය.


මේ වලහා මට මුණ ගැසෙනා විට ඉතා යහපත් කල්ක්‍රියාවෙන් සිටි වලසෙකු වුවත් දැන් ඔහු මදක් සිහිමද ගතියෙන් පෙලෙන්නේය.


හේ පැණි කන්නාක් මෙන් මධුපැන් බොන්නේය. 


හුස්ම උරන්නාක් මෙන් සිගරට් බොන්නේය.ඒ මත්තේද පමණක් නොව තොලින් තොලට ගෙන මටත් පොවන්නේය.


පුලුල් වලස් පපුවේ වම් පස පෙන්වා නිදන්නට ඇරයුම් කරන්නේය.


ලෝම කබායෙන් මා උණුසුම් කරන්නේය.


නිදන විට හිස අත ගාමින්ද , පපුවේ හදවත තාලයට වාදනය කරමින්ද සැප පහසුව සලසන්නේය.


උන් හිටි ගමන් අවදි කරවා අද්දනා බසයට නංවා ගෙදර පිටත් කරන්නේය.


වලස් ලෝම අස්සේ  ඇති ආදරය , ගලව ගලවා දෙන්නේය. 


දුටු තැන තුරුලු කර  ගනිමින් නලලත සිඹින්නේය.


සමුනොදීම වහ වහා පිටව යන්නේය.


හේ


වලසෙකි.....



ප.ලි :- කටුස්සා නිතර නිතර කවි වලට දාන වලස් ෆොටෝ දැකල ලිවුවේ.

Tuesday 7 February 2023

හමුවීම

 හමුවෙමි නෙතට නෙත නොව

නුඹෙ හිතට හිත

සිපගමි තොලට තොල නොව 

නුඹෙ මතක ටික

වාරුව  උරහිසට හිස නොව

නුඹෙ හයිය හිත

ආදරෙ නුඹට නොව 

නුඹ හද මැවුව මට


ආදරෙයි හැමදෑම ❤

-වත්සලා-

7/2/23


Monday 6 February 2023

සඳපාන

 


මල් පිපුනත් නැතත් මිදුලේ කටුරොලු ගාල

පෙම් ගීමයි කීවේ පොලිකිචි බිචි රෑන

මට හිමි නැතත් ඔබගේ මෘදු සඳ පහස

අහසේ පායපන් සුන්දර සඳ පාන


මීවිත නුඹ මගේ නොපිරූ මධු පාන

කවි ගී නුඹ මගේ නොලියූ මම තාම

පණ ගැහෙනා හිතෙන් නුඹ ගියමුත් ඈත

තෙත සිහිනයන් රෑ නුඹ නමටයි තාම 


සුබ රැයක් ❤

Saturday 4 February 2023

රා මතක

 රා මතක 

-=-==--=--



යාලුවෙක් කාලෙකින් ලියපු රා සුවඳ පෝස්ට් එකක් කියවල , මගේ මතකයේ අස්සක සැගවිලා තිබ්බ රා සුවඳ හමන්න ගත්තා.සුවඳ දිගේ ගියාම එක්දාස් නමසිය අසූගණන් වලට ගිහින් තමයි නතර උනේ.


මුහුදු සුළඟ හමන ලොකු පොල් වත්තක් මැද තිබ්බ පෘතුගීසි පන්නෙට හැදුව පරණ ගෙයක්. ගෙදරට ගොඩ වෙන්න තිබ්බෙ ආලින්දයේ දිගටම හැදුන පඩි පේලි පහක් හයක්.ඊට පස්සෙ සුදු කුළුණු හතරක් උඩ සිංහල උළු වහලයක්.බිත්ති නැති විවෘත ආලින්දයක්.ආලින්දයට විවෘත උන එලියෙ තනි කාමරයක්.ඒ කාමරයේ ඉන්න කෙනාට ගේ ඇතුලට යන්න වෙන්නෙ ආලින්දය මැදින් ඇවිත්. ඒක තියෙන්නෙ ඇත්තේ තාත්තා පරක්කු වෙලා ගෙදර ආහම නිදාගන්න කියල ඉස්සර තාත්තා කියල තියෙන්නෙ බොරුවට. ඒ කාලේ ටික කලක් ඒ කාමරේ සුද්දො ජෝඩුවක් ඉදියා.කොහොම හරි ඒ මම කලුතර ඉස්පිරිතාලෙ  ඉපදිලා බබා සුවඳත් එක්ක ඉස්සෙල්ලම ආපු ගෙදර.අපි ගේ ඇතුලෙ හිටියට ගේ අපේ නෙමේ.


ඒ ගේ තිබ්බෙ පොල් වත්තක් මැද. ඒ කිසිම පොල් ගහක් තනි වෙලා තිබ්බෙ නැත්තෙ , පොල් ගහට පොල් ගහක් සමාන්තරව ලණු වලින් එකිනෙකට සම්බන්ධ කරල තිබ්බ නිසා.ඔය ලනු දෙක අතර පරතරය අඩි හතරක් විතර ඇති.හැමදාම උදේට මට ඇහරෙන්නෙ ඔය ලණු අතරෙ ගහින් ගහට යන්න සරම් කොටයක් ගහන් සරමට යටින් ශෝටක් වගේ කලිසමක් ඇදන්, ඉනේ භාජනයක් බැදන් , ඉන වටේ තියන පටියෙ වක්පිහියක් ගහන්, සිවුරුහම් බාමින් එන ඉසුරුවේල් නිසා.මන් පොඩි කාලෙ ඉසුරුවේල්ට බයයි.එයාට තිබුනෙ තඩි ඇස් දෙකක්.මන් එළියෙ පහලියෙ ඉන්නව දැක්කොත් ඉසුරුවේල් ඒ තඩි ඇස් දෙක තවත් විශාල කරල මාව ගිලින්න වගේ බලනවට ඒකාලෙ මන් හොඳටම බයයි. ඒ කාලෙ සිංහල චිත්‍රපටි වලත් හිටියා ඉසුරුවේල් වගේ ඇස් දෙකක් තිබ්බ නලුවෙක්.

ඉසුරුවේල් උදේම ඇවිත් ගහින් ගහට මාරු වෙනව මන් බලා ඉන්නෙ කාමරේ ජනෙල් පඩිය උඩට නැගල  ,ජනේල් කූරු අතරින්. ඉනේ තියන වක්පිහියෙන් ගහේ උඩදි මොනව හරි කරල ලනුපොටවල් දෙක අතරෙන් තව ගහකට මාරු වෙවී යන ඉසුරුවේල් අන්තිම ගහෙන් බැහැල අතපය ,පිට පිහද පිහද ගේ පැත්තට එනගමන් " රාලාමී " කියල අපේ තාත්තට කතා කරන කොට ගොඩක් දවසට මාත් තාත්තගෙ පිටිපස්සෙන් යන්නෙ තාත්තට වහන් වෙලා.අනික තාත්තා ඉන්න නිසා ඒ වෙලාවට ඉසිරුවේල් ගැන තියන බය ටිකක් තුනී වෙනවා.

ලණු වලින් ඔතල ඔතල තියන කලයක් වගේ භාජනේ ලනුවකින්ම හදපු හැන්ඩල් එකෙන් අල්ලල "  රාලාමි මෙන්න " කියන ගමන් තාත්තට දික්කරන ඉසුරුවේල්ව මම දකින්නෙ 

තාත්තගෙ සරෙමෙ කොනක් අල්ලන් කකුලක් එහාට වෙනකොටම එඹිල බලන ගමන්.


චූටි නෝනටත් බොන්න පුලුවන් අද තෙලිජ්ජ තියනවා.


ඉසුරුවේල් එහෙම කියන්නෙ මා දිහා නොබල.ඒ කියන්නෙ මාව දැක්කෙ නෑ වගේ අගවලා කියල දැනුයි මට තේරෙන්නෙ.


මහ පාන්දරම දැනුන ඒ රා සුවඳ අදටත් මට ඒ විදියටම දැනෙනවා. 


අම්ම බනිද්දි තාත්තා මට තෙලිජ්ජ වීදුරුවෙන් උගුරක් අම්මට හොරෙන් බොන්න දීලා තියනවා.


රා වලටම හරියන චීන ඌරො.ඒ වත්තෙ නිදහසේ ඉන්නෙ කවුරුහරි දැලක් දාලා අල්ල ගන්නකම් විතරයි. ඒ ගමේ හතර දිග් බාගෙම පන්සල් යන පවුලක් හිටියෙත් අපි විතරයි.අනිත් හැමෝම ගියේ පල්ලි. ඒ වගේම ඒ ගමේ ගෙවල් වලින් තමන්ටම කියල ඌරො හිටියෙ නැත්තෙත් අපට විතරයි.හැබැයි අපි ඒ හැම  ඌරන්ටම ආහර සැපයුවා.ඒ පොළව ඇතුලට නැති පොලවට අඩි හතරක් විතර උඩින් හදපු වැසිකිලියෙන්.ඒක වෙනම ලියන්න ඕන කතාවක්.ඒ වැසිකිලියේ වාඩි වෙලා ශරීරකෘත්‍ය කරන කොට ඌරන්ට පුලුවන් යට තියන වලට ඇවිත් ඒ ජරාව ජොහ්: ජොහ්; ගාලා තලු මරමින් කන්න.මොකද ඒ වල බැදල තිබ්බෙ තුන් පැත්තකින් විතරයි. 


ඉතින්... ඒ පොල් වත්ත මැද්දෙ තිබ්බ ගෙයි අපි ඉන්න කාලේ අපේ ගෙදර තිබ්බ ගමේ ඉඩමට මහපාරේ ඉදල එන්න පොඩි තාර පාරක් තිබ්බා.මහ පාරෙන් එහා පැත්තට පැන්නම තිබ්බෙ මූද. මහ පාර දකුනු පැත්තට ගියාම කලුතරටත් මහපාරෙන් වමට ගියාම ගාල්ලටත් එන්න පුලුවන්. ඔය මහ පාරෙන් අපේ ගෙවල් පැත්තට වැටිල තිබ්බ පාරෙ අයිනෙ නිතර නිතර දකින්න හිටියා පිස්සියෙක්.ඒ පිස්සි අපේ තාත්තට හරි ආදරෙයි. තාත්ත එක්ක යනකොට මටත් හරි ආදරෙයි.රා බීල බීලම ඒ කාලෙ අපෙ තාත්තට තිබ්බ ලොකු බඩට දැක්කාම පිස්සි නිතරම කීවේ " රාලාමිට බබෙක් හම්බෙන්න ඉන්නවා " කියල.


රා සුවඳ වැක්කෙරුන ඒ පුංචි ගම දාලා අපිට එහෙන් එන්න සිද්ධ උනේ තාත්තගේ ආදරණීය ආච්චි එයාගෙ ඔක්කොම ඉඩකඩම් තාත්තගෙ නමට ලියල මැරිල ගිය නිසා.


ඉතින් ඊට පස්සෙ කුලී ගෙවල් වලට තිත තියල , පොල් මන්ඩියේ පරණ පෘතුගීසි ගෙදර දාල , රා සුවඳ විතරක් අරන් අපි තුන් දෙනා කෑගලු ආවා.තාත්තගෙ බඩත් බැහැල ගියා.ඒත් අදටත් ඒ පාරෙ ආවොත් " රා බොමු" කියල ගහල තියන බෝඩ් දැක්කම මට හිතෙන්නම ඒ බෝඩ් ගහල තියෙන්නෙ මට කියල.


නමුත් දැන් ඒ පාරෙත් ගොඩාක් කාලෙකින් යන්න බැරි උනේ මුහුදු බඩ ප්‍රවාහනයට වඩා නැග්ගා බැස්සා සීග්‍රගාමි පාරේ ම මම කොළඹ ගිහින් එන නිසා.


හැබැයි මගේ රා තිබහ නම් තාමත් සමනය වෙලා නෑ.


පින්තූරෙට තුති. 🙏

බල්ලට ගියපු සෙනසුරාදා ව හෙවත් ශැඩෝ දවස්

 බල්ලට ගියපු සෙනසුරාදාව.... ============ මට දැන් මේ කෝලම් කරන්න කෙනෙක් නෑ. සෙනසුරාදා තමයි උගෙ දවස. ඒ වගේම හොඳට ඉර පායල , සැරට අවුව වැටෙන සෙන...