Tuesday, 28 May 2024

8AM Metro

 


ජීවිතේ සමහර කාල වලදි අපට අපේ ජීවිතය එපා වෙන කොට ඒකාකාරි වෙන කොට කලකිරෙන කොට ඔයා වාසනාවන්තයි නම් ඔයාට හම්බෙනවා ඔයාගෙ ඒ කාලකණ්නි කියල හිතෙන ජීවිතේ ගොඩදාන කෙනෙක්. ඇත්තටම ඒක එයාවත් අපිවත් දන්නෙ නැති වුනාට සීමිත කාලෙකට අපේ ජීවිතේට අහඹු ලෙස එහෙම එන කෙනෙක් අපිට අපේ ශක්තිය හැකියාව පෙන්නල අපිව සතුටින් තියනවා. ඒත් අපි දන්නවා ජීවිතේ සමහර බැඳීම් වගකීම් එක්ක අපට ඒ සම්බන්ධකම් ජීවිතේ පුරාවට අත් අල්ලන් යන්න විදියක් නෑ කියල. අපිට ගෙවාගන්න අමාරුම කාලවල් අත් අල්ලන් යන්න උදව් වුන එහෙම අය අපි එගොඩ උනාට පස්සෙ අපේ අත අතාරිනවා.


" සමහර වෙලාවට මිනිස්සු දෙන්නෙක්‍ රාත්‍රියේ ගමන් කරන යාත්‍රා දෙකක් වගේ.අහම්බෙන් සැරයක් දෙසැරයක් හම්බෙන ,ඊට පස්සෙ ජීවිත කාලෙටම කවදාවත් හමුනොවන."


" පිරිමියෙක්  ගැහැණියක් අතර එහෙම බැඳීමක් තියෙන්න බැරිද ,එකිනෙකාව විනිශ්චය කරන්නෙ නැතිව ඕන දෙයක් වගේම හැමදේම කියන්න පුළුවන් විදියෙ , කිසිම රහසක් බොරුවක් නැති  , එකිනෙකාගෙ කතා අහගෙන තේරුම් ගෙන සමගියෙන් ඉන්න . 


මම ඔයාගේ හමුවීම 

ඔයාගෙ යාළුකම 

ඔයාගෙ ආදරය 

මගේ වාසනාව කියල පිළිගන්නවා.


මගේ ජීවිතේ සතුටින් තියල ජීවිත කාලය දිගු කරාට ස්තූති වන්ත වෙනවා.


ඔබේ මතකය , දුන්න ආදරය හදවතේ තැනක මියෙනකම් සුරක්ෂිතව තියාගෙන ඉන්නවා.


ඔයාගෙ ජීවිතයට සුබ පතනවා.


Watching 8am metro

Thursday, 16 May 2024

A man's kiss is his signature.


 දකින හැමදාකම, කොච්චර වටේ පිටේ මිනිස්සු හිටියත් , තැන කොතැන වුනත් අද මේ දැන් දැක්ක වගේ  එක අතකින් ළඟට කරන් අනිත් අතින් තුරුළු කරන් නලල ඉඹින්න හැමෝටම බෑ. කොටින්ම ඔය වයසෙ පිරිමියෙක්ට කොහෙත්ම බෑ. එන්න ඒ වගේ බැරිම වෙලාවක උනත් මට ආදරේ වෙලා අපි හම්බුන පළවෙනි දවසෙම , දෙනෝදාහක් යන එන මහ පාරක අයිනක නොසිතූ වෙලාවක මට දුන්න ඒ හාදුව කවදාවත්ම අමතක වෙන්නෙ නෑ . එදා මම කකුල් දෙකෙන් කොහොම හිටගෙන හිටියද කියල හිතා ගන්න බැරි නළල දිගේ වැදුන ඒ සුන්දර විදුලිය ඇඟ දිගේ ගිහින් පොළවට ලුහුවත් උන නිසා.

මම වගේ වයසක ඉන්න කෙනෙක් ට මගෙ යෞවන කාලේ , මගෙ තරුණ කාලෙවත් නොලැබුන උණුසුම් ආදරයක් ඔයා මට දුන්නෙ එහෙමයි.

ඇත්තටම වෙන කවුරුවත් මට එහෙම ආදරේ කරල නෑ. මේ ලෝකෙ හැම ගැහැණියකටම ලැබෙන්න ඕන ඔයා වගේ ආදරේ කරන පිරිමි කෙනෙක්.

රළු පෙනුම එක්ක නොගැලපෙන තරම් සෞම්‍ය ආදරයක් ඔයා ළඟ තිබ්බා. මන් කවදාවත් හිතුවෙ නෑ පිරිමියෙක්ට එච්චර ප්‍රේමණීය වෙන්න පුළුවන් ද කියල , මොකද කියනව නම් මට හමුවුන සෞම්‍ය පෙනුම තිබ්බ පිරිමින්ගෙ පවා තිබ්බෙ බොහොම රළු ආදරයක්. ඔයා තරුණ කාලේ කොයිතරම් නම් ප්‍රේමණීය ප්‍රේමවන්තයෙක් වෙන්න ඇද්ද කියල හිතුන මගෙ හිත හීල්ලුවා. 

ඒත් අපි දෙන්න මුණ නොගැසුණ  තරුණ කාලේ අමතක කරත් , අපි දෙන්න මුණ ගැහුණ මේ මැදිවියේ උනත් ඔයාගෙ ඒ උණුසුම් ආදරේ විඳින්න මන් පිං කරල තිබ්බෙ බොහොම පොඩි කාලයයි.ඒ පොඩි කාලයත් මට මහමෙරක් වගේ. එකාතකට ආදරේ කරන අය එකට ජීවිතේ ගත කරන්න හමුවෙනවට වඩා අපේ කෙටි කාලීන ප්‍රේමණීය හමුව ජීවිතේ තුරාවට ඒ විදියටම රැදිල තියේවි.

පහුගිය නිවාඩු කාලේ මම බලපු Love again කියන ෆිල්ම් එකේ මෙන්න මේ පුංචි කොටස මට ඔයාව මතක් කරා ... ඒ ඇයි කියල ඔයා දන්නවා...




ඔයාගෙ හාදු ගැන ලියන්න හිතන් ආවත් ඒ හාදු ගැන ලියන්න මේ තැන , මේ වෙලාව හොඳටම මදි.

ආයෙ කවදහරි අපි හමුවුනොත් මම ඒ හාදු බලාපොරොත්තු උනත් , ඔයා ඒව නොදුන්නට මන් තරහ නෑ කියල විතරක් කියන්නම්.... 


Wednesday, 15 May 2024

“When someone you love becomes a memory, the memory becomes a treasure.” “


 ලියන්නට ලියවෙන්නට කිසිවක්ම නොහැකි කාලයක සම්මානනීය බ්ලොග් ලිවිල්ලක හිමිකාරියක කරන්නට තරම් මා දක්ෂයෙකු කරවූයේ ඔහුගේ පෙමයි.

ඉතා ගැඹුරින් බැඳුන, බිඳුන ප්‍රේමයක අග දී විරහව බෙදා ගැනීමට හෝ සිදු වූ කිසිවක් කියා ගැනීමට කිසිවෙක් නැති පරිසරයක මට පිහිටට ආවෙ බ්ලොග් ලිවිල්ලයි.

හිතේ ඔහු නිසා හට ගත් දුක වේදනාව දිය කර හැරීමටත් , ඔහු කිවු මුසා බස් නිසා ඇතිවූ කේන්තිය පහකර ගැනීමටත් ලියූ බ්ලොගයේ පෝස්ටු එකින් එක නැවත කියවූ පසුවත් එහි හමුවූයේ වයිරයක  තද පැහැය නොව ප්‍රේමයේම හඳුනා ගත නොහැකි  පැහැයකි.

එයින් ඔහු කෙරේ ම හටගත් ප්‍රේමය තව තවත් වර්ධනය විය , දුක තුනීවීම සමඟ, වඩ වඩා ඔහු කෙරේ බැදීමත් , ඔහු පැවසූ මුසාබස් සැබැවින්ම එසේ නොකීවානම් මට එවැනි අනර්ඝ ප්‍රේමවන්තයෙකු හමුනොවී තියෙන්නටත් හැකි බව ත් සෙමින් සෙමින් අවබෝධවත්ම එතරම් සාහසික මුසාවකට සමාව දීමට තරම් සිත දියුණුකරගත් මා ,  ලිවීමෙහි යම් හැකියාවක් ද නොදැනම උකහාගෙන තිබුණි.

අනෙක් අතට ඔහු කිසිදු විටක මාහට මුසාවක් පවසා නොතිබුන අතර එකම හේතුව වූයේ මුසාවට හේතුවන පිළිතුර ලැබිය යුතු පැනය මා විසින් නොවිමසා සිටීමය. එක අතකට එයට ලැබෙන පිළිතුර අප වෙන් කිරීමට තරම් වේදෝයි සිතා මා විසින් අසා සිටින්නට නොමැති වන්නට ඇත. මා දුරස් වේයැයි සිතා ඔහුද  අසන්නට කලින්  පිළිතුරක් නොදුන්නා වන්නටද පුළුවන. කෙසේ හෝ පසු කලක " මන් ඇහුවෙ නැති වුනාට ඔයාට ඒක කියන්න තිබ්බා " යෑයි මා කියූ විට " අනේ මන්දා.මට ඒක කියන්න හිතුන්නෑ.අනික මට හිතුනා ඔයා ඒ ගැන දන්නව කියල " ආදරයේදි වෙන් වන්නට කරුණු යෙදෙන කාරණා රැසක්ම අපි එසේ නොසලකා හරින්නෙමු. නමුත් ඒ ටික කලකටය.ප්‍රේමයෙන් හිත් උතුරා පිටාර ගොස් අවසන් වන විට පතුලේ තැන්පත්වුන ඔවැනි හේතු පෙරට වඩා හොඳින් පෙනෙන්නට ගන්නා තෙක් පමණය.

පසුකාලීනව ඔහු හා නැවත ප්‍රේමයෙන් බැදෙන්නට ද එයම හේතු වූවත් ලින්ක් පිට ලින්ක් යවා මා ඔහුගෙන් විතැන් වූ කාලයේ ඔහු වෙනුවෙන් ලියූ දෙ මේ යැයි පෙන්නූවත් සිඟිති දැරියක තම ඇතැති පාට පාට සීනීබෝල රැස් වැඩිහිටියෙකුට පෙන්වන විට වැඩිහිටි මිනිසා විසින් දරුවා වෙත පාන " ඕව නම් මොනාද බබෝ "වැනි සිනාවෙන් එපිටට කිසිදු අගය කිරීමක් නොලැබුනත් ඔහු මිය ගොස කාලෙකට පසුව ඔහුගේ ළඟම යෙහෙළියක පැවසූ වදනින් මා පුදුමයට පත්වුන බව නම් කියන්නට ඕනමය.

" එයා ට හරි ලස්සනට ලියන්න පුළුවන් " ඔහු ඇය හා මා ගැන එසේ කියා තිබුණි.

අද ඔහු නැත.

ඔහුගේ අයහපත් සෞඛ්‍ය පුරුදු , නිසි ලෙස නොලැබුන ආදරය , නිසිකලට නොලැබුන සොයා බැලීම් හමුවේ දරුණුව ගොස් අවසානයේදී ඔහු ඔහුද නොසිතූ මොහොතක යන්නට ගියේය.

නමුත් එදා ඔහු පැවසූ බොහෝ දේහි අරුත් නිසිලෙස මට වැටහෙන්නේ ඔහු නැතිකාලයේ වීම හිත පාරවයි.

පිරිමියෙකු බලාපොරොත්තු වන ආදරය මේ යැයි කියා ඔහු නික්ම ගියේ පුලුවන් නම් තව කෙනෙකුට ඒ අඩුපාඩු නොමැතිව ආදරය කර පෙන්වන්නැයි මට අභියෝග කරමින් දෝ යැයි මට සිතෙන්නේ ඔහු නික්ම යාමට ආසන්න කාලයේ ප්‍රේමවන්තයින් රැසක් පසුකරමින් විත් නැවතත් ගැඹුරු ප්‍රේමයක පැටලෙන්නට ඔහුගේ වියෝවම හේතුවක් වූ බැවිනි.

ඉතින් පෙම්වත ඔබ මෙන් ඔහු මට මුසාබස් නොපැවසූවත් ඔබමෙන්ම ඔහුද මට කිසිදා ළඟාකර ගත නොහැකි දුර අහස පුරා පිපුන පුන්සඳක්ම ය......

ඔබ මා හට හිමිකර දී ගිය අරුම පුදුම නිවුන හිතෙන් මා සඳට ප්‍රේම කරමි.


සෙනෙහස ගඟුලක් ඔබට පුදන්නෙමි
බිඳුවක් ඔබගෙන් ලබන නියා
සෙනෙහස උතුරන මහ සයුරක් වෙමි
වෙරළක් වී ඔබ දකින නියා

ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි

දුලන සඳ ලෙස ගුවන අරා
ළා හිරු මඩලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා


කාලය කෙතරම් ... නපුරුද සොඳුරිය

ඔබ මගේ හදවත පැහැර ගත් පෙම්වතාගේ රුවට සමාන යැයි හැඟුන බැවින්දෝ එදා මෙදා තුරම ඔබ මගේ ක්‍රශෙක විය.

නමුත් ඔහු


මාගෙන් දුරස් වෙද්දී , කාර්‍ය බහුල වෙද්දී ,යන්න් එන්නටම දවස් මදි  වෙද්දී, රෑ දවල් වෙනසක් නැතුවම වැඩ අතර ගෙවෙද් දී ඔහු ඔබ ට  වඩා හැඩැති කෙනෙකුන් බවත් ඔහු ඔබවැනි යැයි මා සිතා සිටියේ ඇස් දෙක කටේ දාගෙන හිටපු නුහුගුණේ වැඩි වෙලාවක විය හැකි බවත් මට සිතුණි. 

කෙමෙන් කෙමෙන්  මා ඔහුගෙන් දුරස් වූයේ අතිශය සෙමෙන් ගෙවෙන සරල සුන්දර මගේ දවස් සහිත ජීවිතය සමඟ අතිශය සංකීර්ණ  , වේගවත් දින ගෙවූ ඔහුගේ දිවිය මාහට දරාගත නොහැකි වීමටත් වඩා ඔහුගේ වේගවත් කාර්‍ය බහුල තරඟකාරී ගමනට මා වැනි සෙමින් යන්නියක ඔහුට විය හැකි විශාලතම මානසික බාධාව විය හැකියැයි මට සිතුණ බැවිනි.

ප්‍රතික්‍රියාවක සීශ්‍රතාවයට ද බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ එහි සෙමින්ම සිදුවන ක්‍රියාවයි. ඉතින් විද්‍යාත්මකවද පහදා ඇති සත්‍ය එය නම් සෙමින් ගෙවෙන සරල නිහඬ දවස් වල පය වැදී ඔහුගේ ගමන බාල කරවීම ඔහුට සැබැවින්ම ආදරේ කරනා මා වැනි කෙනෙකුන් ට ඔහු වෙනුවෙන්  කළ හැකි නොහොබිනාම වැඩකි .

පෙර දවස රජු කෙනෙකුන් පලාගිය අශ්ව රථයේ බර වැඩිවී වේගය මදවී හතුරන්ට අසුවීමට යන විට එම අස්‍ රියේ බර සැහැල්ලු කරන්නට එයින් බට රජ බිසවක සේ මාද හිත හදාගන්නෙමි. මා නැතත් ඔහු ඔහුගේ ගමන යනු ඇත. මා සිටිනා විටදි වඩා ඒ ගමන පහසුවක් වනු ඇත.

මා මෙතැනම නුඹ ගේ සෙවන යට නතර වෙන්නම්...........

මට නුඹ නැතිවට කමක් නැත

නුඹ දුන් මතක සිත පුරාද

නුඹ දුන් හාදු ගත පුරාද

නුඹ දුන් සුවඳ සිහින පුරාද පුරෝගනිමි

අඩුවට නුඹේ රුව නොව ,නුඹ වැනි යැයි මා සිත රවටා ගත් ඔහුගේ රුව විඳිමි.

ප .ලි:- ඉස්සර නම් නුඹ ඇස් කණ්නාඩි පැලදුවේ නැත. එය ආඩම්බරයක් කර සැලකූ නුඹේ ඒ ආඩම්බරය නැති කිරීමට මම අකමැත්තෙමි.

රැවුල කැපූ දිනට නාදුනන වෙනත් අයෙකු තරමට වෙනස් වන ඔබේ රුවට වඩා අකීකරු රැවුල වසා සිටින ඔබේ වත මා ලොව දැකීමට කැමතිම රූපයයි. නොලැබුනත් , එය අදටත් එසේමය.

ඉස්සර නුඹේ රුවුල් ගස් දෙක තුනක් සුදු වූවත් අනිකුත් සමවයස් සහෘදයන්ගේ රැවුල් පමණක් නොව හිසකෙස් පවා සුදෙන් වැසී යද්දී , කළු පැහැති ඝනැති ඔබේ හිස කෙස් අතරින් මා ඇඟිලි යැවීමට අද මට නොහැකි වූවත් නැවත අහම්බෙන් දකිනා දිනක වුවත් ඒවා ඝණ කළු පාටින් දකින්නට මම කැමැත්තෙමි. 

ගිනි දුඹුරු පැහැති, මා දකිනා විට දිදුලන  දෑසත්

කළුම කළු සුන්දර  මූණත්

මුහුණ පුරා වැවුන රැවුල අතරින් පෙනෙන 

බෙල්ල ඇල කර සිනාසෙන සුදුම සුදු සිනාවත් 

තවමත් මා මේ ලොව දකින්නට කැමතිම ඉස්තරම්ම රූපයයි....

I love you not for whom you are, but who I am when I'm by your side.

මම කවුද ?


ඇත්තටම "මම" කියන්නෙ කවුද ? 

මම මා ගැන සිතන ආකාරයත් , නුඹ මා ගැන සිතන ආකාරය ත් නොව , නුඹ මා ගැන සිතන ආකාරය ගැන මා සිතන ආකාරය යි කියල පඩිවඳනක් තිබ්බට , ඇත්තටම මම කියන්නෙ හංගන්න කිසිම දෙයක් නැති , බය හිතෙන්න කිසිම දෙයක් නැති  ඔයා ළඟ ඉන්න " මම " තමා ඇත්තටම ඇත්ත "මම "

අනිත් කෙනා මොනා හිතයිද කියල නොහිතා , ඕනම දෙයක් නිදහසේ කරන්න කියන්න පුලුවන් කෙනෙක් හැමෝටම හමුවෙන්නෙ නෑ. පරිණත කෙනෙක් තුළ උනත් නිදාසිටින සිටින ළඳරුවා එළියට එන්නෙ එහෙමත් වෙලාවක. මවාගෙන අනුන්ට පේන්න ජීවත් වෙන ලෝකේ ඇත්තටම මට මම ම වෙන්න ලැබෙන කෙනෙක් මට ඉන්නව ද ? 
ඇත්තටම මට මම ම වෙන්න මට වෙලාවක් තියනව ද ?
ඇත්තටම මේ ඉන්නෙ ඇත්ත ම මම ද ?




Monday, 13 May 2024

Do not allow me to forget you

 නුඹ අමතකවන්නට මට ඉඩක් නොතබන්න....


නුඹ දුන් සුවඳ මාවටා ඉතිරෙද්දි

නුඹ දුන් හාදු තොල් වලින් ඉපිලෙද්දී

නුඹ හා හුවමාරු දුම් රවුම් ඉගිලෙද්දී

මම නුඹව පමණක් අමතක කළෙමි...


නුඹ හා ගියපු මඟ දිග තනිව පිය එසවෙද්දී

නුඹට තුරුළු වුන ගතින් නුඹෙ සුවඳ විහිදෙද්දී

නුඹ කියපු රහස් මල් කණ් ඇතුලෙ රැව්දෙද්දී

මම නුඹව පමණක්ම අමතක කළෙමි



 




Nobody deserves your tears, but whoever deserves them will not make you cry.


 ආදරය යනු , සැමවිටම හිමිකර ගැනීමම නොවන අතර ආදරය නිසාම සිදුවන භෞතික අත් හැර දැමීම් තේරුම් ගැනිමට නම් ඔබ ආදරයේ පරිණත කෙනෙකුන් විය යුතුමය.


Saturday, 11 May 2024

There is always something left to love.

 


ඔයා මට වඩා වේගෙන් කියවනව.මට වඩා වේගෙන් ඇවිදිනවා.මට වඩා වේගයෙන් හිතනවා.මට වඩා වේගයෙන් ආදරය කරනවා.ඒත් ඒ කිසිම දෙයක් මතුපිටට නොපෙනෙන්න සංසුන්ව ඉන්න හැටි ඔයා දන්නවා.ඒ හැම දේකම ප්‍රතිලෝමය මන්.

අපේ ආදරේ පටන් ගත්ත මුල්ම කාලේ හමුවීම් දෙකකට පස්සෙ මට ඔයා දක්වපු අධික ගෞරව නිසා  මම ඔයා එක්ක ඉතා වේගයෙන් රණ්ඩු උනා මට මතකයි. එහෙම කරේ ඔයා ඒ අදහස් කරපු දේ මට දරාගන්න බැරිවුන නිසා.ඒ තරම් ඉක්මනින් , ඒ තරම්  ආදරයෙන් බැදුන එක මට හිතා ගන්නවත් බැරි වුන නිසා.ඒ වෙනකොට ඔයා හිටියෙ ආදරයෙන් පිරිලා ඉතිරිලා ගිහින්. ඔයාගෙ ජීවිතේ තිබ්බ පුංචි පුංචි හිඩැස් ඔක්කොම සතුටින් ආදරෙන් පිරිලා ,උතුරල තිබ්බෙ  මන් නිසා කියල මට අදහා ගන්නවත් බැරි උනා. පිරිමියෙක් ව ඒ තරම් සතුටින් උද්දාමයෙන් තියන්න මන් වගේ කළු කැත කෙල්ලෙක්ට පුලුවන් වෙයු කියල මට නිකමටවත් හිතිල තිබ්බෙ නෑ.

අපි ගොඩාක් කාලයක් තිස්සේ හඳුනන දෙන්නෙක් බව ඇත්ත. නමුත් හැඳුනුම්කම් බොහොම ලෙංගතු නමුත් දුරස්ත හඳුනා ගැනීම් උනා. ඒ වෙනකොට එක් වරකට වඩා සැබෑ ලෙස හමුවෙලා නොතිබ්බ ඒ සාමාන්‍ය හැදුනුම්කම් වලදි ඔයා කවුද කියනෙක හොඳ හැටිම තේරුම් අරන් හිටියෙ. ඇත්තටම ඔයා කාලෙ හැටියට ඉතාම විශ්වාසවන්ත , රැයක පවා ගැහැණු කෙනෙක් පරිස්සමින් ගෙදර ඇරල හොඳ සහෝදරයෙක් , මිතුරෙක් උනා. ඉන් එහා හඳුනාගැනීමක් මට අවශ්‍ය නූනත් මාව අල්ලල යාලුවො ඔයාට විහිලු කරන එකත් මන් එච්චර ගණන් නොගත්තෙ ඒ වෙනකොට මොනම විදියෙකවත් බලාපොරොත්තුවක් අපි දෙන්න අතරෙ නොතිබ්බ නිසා. නමුත් ඒ විහිලු නිවරදි කරන්න කිසිම විදියක උවමනාවක් ඔයාට තිබ්බෙ නැති එක ගැන ඒ කාලෙ මන් හිටියෙ ඔයා එක්ක අමනාපයෙන්.

මගේ හිටපු ප්‍රේමවන්තයෙක් ගැන ඔයා නිතර අහපු එකත් එක්ක එයා ගැන ඔයා කියපු හිත රිද්දපු කතා එක්ක මගේ ඔයා එක්ක තිබ්බ අමනාපය වැඩි උන නිසා මම අලුතින් හදපු ප්‍රොපයිල් එකටවත් මම ඔයාව ගාව ගත්තෙ නෑ. ඒ වෙනකොට ඒ ප්‍රොපයිල් එකේ හිටියෙ මැනික් ගරන්න වගේ ගරල ඉතිරි කර ගත්ත , ඉතාම සීමිත යාලුවො ටිකක් විතරයි.කොහොමත් හැමදාම වගේ ඒ ප්‍රොපයිල් එකේ මගෙ ආදරවන්තයවත් ඔයාවත් හිටියෙ නෑ. ආදරවන්තය ඒ වෙද්දි මගෙන් ගොඩක් දුරස්වෙලා කිසිම විදියක සන්නිවේදනයක් නැතිව හිටපු නිසා ත් මගේ වෘත්තීය ජීවිතේ වගේම රැකියා ස්තානය වෙනස් වෙලා තිබ්බ නිසාත් මට ඕන උනේ හුරුපුරුදු සියල්ලගෙන්ම මිදිලා, බාහිර ලෝකයෙන් විතැන් වෙලා මගේම අවකාශෙක පුංචියට ජීවත් වෙන්න.ඒත් ඒ බිත්තර කට්ට බිදගෙන දවසක් මට කෝල් එකක් ආවෙ ඔයාගෙ යාළුවෙක් ගෙන්.......

නැවත හමුවෙන තෙක් , මන් ඔයාට පණ වගේ ආදරෙයි.......හැමදාමත්........

( you think you know me? , think again )

( මම මේවා ලියන්නෙ කවදහරි තනිකඩ මගේ මතකය නැතිවෙන අසනීපයක් හැදුනොත් මේ මතකයන් මට නැතිවෙයි කියල බය නිසා )

       What matters in life is not what happens to you but what you remember and how you remember it.
-Gabriel Garcia Marquez-

ඇස් කතා කරනවා

  ඇස් ගැන කතා කරද්දි බොහෝ වෙලාවට  ඒ ගැහැණු ඇස් ගැන. ඇස් වල හැඩය, ඒවගෙ තියන හැඟීම් , හිනාවෙන ,අඬන ඇස් ,කතා කරන ඇස්, නපුරු ඇස් ,පාට කරපු ඇස් ත...