Monday, 13 May 2024

Do not allow me to forget you

 නුඹ අමතකවන්නට මට ඉඩක් නොතබන්න....


නුඹ දුන් සුවඳ මාවටා ඉතිරෙද්දි

නුඹ දුන් හාදු තොල් වලින් ඉපිලෙද්දී

නුඹ හා හුවමාරු දුම් රවුම් ඉගිලෙද්දී

මම නුඹව පමණක් අමතක කළෙමි...


නුඹ හා ගියපු මඟ දිග තනිව පිය එසවෙද්දී

නුඹට තුරුළු වුන ගතින් නුඹෙ සුවඳ විහිදෙද්දී

නුඹ කියපු රහස් මල් කණ් ඇතුලෙ රැව්දෙද්දී

මම නුඹව පමණක්ම අමතක කළෙමි



 




Nobody deserves your tears, but whoever deserves them will not make you cry.


 ආදරය යනු , සැමවිටම හිමිකර ගැනීමම නොවන අතර ආදරය නිසාම සිදුවන භෞතික අත් හැර දැමීම් තේරුම් ගැනිමට නම් ඔබ ආදරයේ පරිණත කෙනෙකුන් විය යුතුමය.


Saturday, 11 May 2024

There is always something left to love.

 


ඔයා මට වඩා වේගෙන් කියවනව.මට වඩා වේගෙන් ඇවිදිනවා.මට වඩා වේගයෙන් හිතනවා.මට වඩා වේගයෙන් ආදරය කරනවා.ඒත් ඒ කිසිම දෙයක් මතුපිටට නොපෙනෙන්න සංසුන්ව ඉන්න හැටි ඔයා දන්නවා.ඒ හැම දේකම ප්‍රතිලෝමය මන්.

අපේ ආදරේ පටන් ගත්ත මුල්ම කාලේ හමුවීම් දෙකකට පස්සෙ මට ඔයා දක්වපු අධික ගෞරව නිසා  මම ඔයා එක්ක ඉතා වේගයෙන් රණ්ඩු උනා මට මතකයි. එහෙම කරේ ඔයා ඒ අදහස් කරපු දේ මට දරාගන්න බැරිවුන නිසා.ඒ තරම් ඉක්මනින් , ඒ තරම්  ආදරයෙන් බැදුන එක මට හිතා ගන්නවත් බැරි වුන නිසා.ඒ වෙනකොට ඔයා හිටියෙ ආදරයෙන් පිරිලා ඉතිරිලා ගිහින්. ඔයාගෙ ජීවිතේ තිබ්බ පුංචි පුංචි හිඩැස් ඔක්කොම සතුටින් ආදරෙන් පිරිලා ,උතුරල තිබ්බෙ  මන් නිසා කියල මට අදහා ගන්නවත් බැරි උනා. පිරිමියෙක් ව ඒ තරම් සතුටින් උද්දාමයෙන් තියන්න මන් වගේ කළු කැත කෙල්ලෙක්ට පුලුවන් වෙයු කියල මට නිකමටවත් හිතිල තිබ්බෙ නෑ.

අපි ගොඩාක් කාලයක් තිස්සේ හඳුනන දෙන්නෙක් බව ඇත්ත. නමුත් හැඳුනුම්කම් බොහොම ලෙංගතු නමුත් දුරස්ත හඳුනා ගැනීම් උනා. ඒ වෙනකොට එක් වරකට වඩා සැබෑ ලෙස හමුවෙලා නොතිබ්බ ඒ සාමාන්‍ය හැදුනුම්කම් වලදි ඔයා කවුද කියනෙක හොඳ හැටිම තේරුම් අරන් හිටියෙ. ඇත්තටම ඔයා කාලෙ හැටියට ඉතාම විශ්වාසවන්ත , රැයක පවා ගැහැණු කෙනෙක් පරිස්සමින් ගෙදර ඇරල හොඳ සහෝදරයෙක් , මිතුරෙක් උනා. ඉන් එහා හඳුනාගැනීමක් මට අවශ්‍ය නූනත් මාව අල්ලල යාලුවො ඔයාට විහිලු කරන එකත් මන් එච්චර ගණන් නොගත්තෙ ඒ වෙනකොට මොනම විදියෙකවත් බලාපොරොත්තුවක් අපි දෙන්න අතරෙ නොතිබ්බ නිසා. නමුත් ඒ විහිලු නිවරදි කරන්න කිසිම විදියක උවමනාවක් ඔයාට තිබ්බෙ නැති එක ගැන ඒ කාලෙ මන් හිටියෙ ඔයා එක්ක අමනාපයෙන්.

මගේ හිටපු ප්‍රේමවන්තයෙක් ගැන ඔයා නිතර අහපු එකත් එක්ක එයා ගැන ඔයා කියපු හිත රිද්දපු කතා එක්ක මගේ ඔයා එක්ක තිබ්බ අමනාපය වැඩි උන නිසා මම අලුතින් හදපු ප්‍රොපයිල් එකටවත් මම ඔයාව ගාව ගත්තෙ නෑ. ඒ වෙනකොට ඒ ප්‍රොපයිල් එකේ හිටියෙ මැනික් ගරන්න වගේ ගරල ඉතිරි කර ගත්ත , ඉතාම සීමිත යාලුවො ටිකක් විතරයි.කොහොමත් හැමදාම වගේ ඒ ප්‍රොපයිල් එකේ මගෙ ආදරවන්තයවත් ඔයාවත් හිටියෙ නෑ. ආදරවන්තය ඒ වෙද්දි මගෙන් ගොඩක් දුරස්වෙලා කිසිම විදියක සන්නිවේදනයක් නැතිව හිටපු නිසා ත් මගේ වෘත්තීය ජීවිතේ වගේම රැකියා ස්තානය වෙනස් වෙලා තිබ්බ නිසාත් මට ඕන උනේ හුරුපුරුදු සියල්ලගෙන්ම මිදිලා, බාහිර ලෝකයෙන් විතැන් වෙලා මගේම අවකාශෙක පුංචියට ජීවත් වෙන්න.ඒත් ඒ බිත්තර කට්ට බිදගෙන දවසක් මට කෝල් එකක් ආවෙ ඔයාගෙ යාළුවෙක් ගෙන්.......

නැවත හමුවෙන තෙක් , මන් ඔයාට පණ වගේ ආදරෙයි.......හැමදාමත්........

( you think you know me? , think again )

( මම මේවා ලියන්නෙ කවදහරි තනිකඩ මගේ මතකය නැතිවෙන අසනීපයක් හැදුනොත් මේ මතකයන් මට නැතිවෙයි කියල බය නිසා )

       What matters in life is not what happens to you but what you remember and how you remember it.
-Gabriel Garcia Marquez-

Monday, 13 February 2023

මියැදෙන්නට බලා හිඳපු ආදරයද මේ.....(වැලන්ටයින් ස්පෙශල් )

 -----------------

තවමත් බොඳවී පෙනෙන දෑස් පිටි අත්ලෙන් පිසලූ ඇය ඇස්පිය එකිනෙක තද කරමින් කිහිපවාරයක් දෙනෙත් පෑදුවාය. වට පිටේ පැවති නිහඬබව ත් සංසුන් බවත් මැද තමන් නිශ්චිතවම මිය ගොස් ඇති බැව් දැනී දෑස් පියාගන්නට සැරසෙන විටම දකුණතේ සියුම් වේදනාවක් ද , දැනී නොදැනෙන තෙල් බෙහෙත් සුවඳක් සමඟින් එක වරම දෑස් හැර බැලූ ඇයට දැක ගත හැකි වූයේ සියුම් චිත්‍ර  වලින් පිරී ගිය විචිත්‍රවත් සිත්තම්  සිවිලිමකි. 


වේදනාව ගෙන එන දකුණත දෙස බැලූ ඇයට දැකිය හැකි වූයේ ,සෙලවීමට නොහැකි ලෙසට හොඳින් වෙලුම් යොදා ආවරණය කර ඇති දකුණතයි.සම්පූර්ණ දකුණතම ඉහල සිට පහළටම වෙලා තිබූ අතර අතට ආධාරකයක් ද තබා ගැට ගසා තිබුනි.


තමා සිටින්නේ සයනක සැතපී බවත් සෙලවිය  නොහැකි දකුණතේ රිදුන් දෙන්නෙ කොතනදැයි හරියටම කිව නොහැකි බවත් කොටින්ම දැන් තමන් සිටින්නේ මරණයෙන් උඨ්ටාන වීද නැතිනම් නොමැරී දැයි පවා නිශ්චිතව සිතා ගැනීමට නොහැකි ව්‍යාකූල තත්වයක සිටි ඇය දෑස් වසා ගනිමින් වමතේ ඇඟිලි තුඩු වලින් නලතට තට්ටු කරන්නට වූවාය.පැටලුනු මතක අතරින් ගැලපෙන අවසන් මතකයක් සොයා ගත නොහැකී තැන ඇය වමතට බර දී උඩුකය කෙලින් කර සයනයෙන් වාඩි වූවාය.


විශාල කාමරය පුරා සිහින් සඳුන් සුවඳක් පැතිර ඇති බැව් ඇගේ නාසයට දැනෙන්නට වූයේ කාමරය පුරා සෙමින් නෙත් යවන විටයි. සයනයේ දකුණු පසින් වූ උසැති කුඩා මේසය මත වූ මැටි කෙන්ඩියේ පියන ඇර බැලූ ඇය ට තද පිපාසයක් දැනෙන්නට වූයෙන් වමතින් ඔසවා ගත් කෙන්ඩිය කටට ළංකර කට දෙපැත්තෙන් වතුර ගලා යද්දීම ඉතා ගිජු ලෙස වතුර බොන්න විය.කෙන්ඩිය මේසය මත තබා වමතින්ම කට පිසදා ගත් ඇය තමන්ට සම්මුඛව පෙනුන රුව එක්වරම දුටුවේ එයින් සලිතව මුව මතවූ වමත ඉවතට ගන්නට පවා අමතකව ගොස් පුදුමයෙන් වික්ශිප්ත දෑස්  ඒමතම අලවා ගෙන සිටියාය.


ඒ කැඩපතකියි තේරුම් ගන්නට ඇයට සෑහෙන වේලාවක් ගතවන්නට ඇත.


තමන් මෙතරම් පුදුමයෙන් බලා සිටින්නේ කැඩපතින් පෙනෙනා තමන්ගේම රුව දෙස බව තේරුම් ගත් ඇය සයනයෙන් නැගි කැඩපතට තව තවත් ළං වූවාය. 


කැඩපත තුළින් දිස් වන තම රූපය ඇගේම ඇඟිලි තුඩඟින් අතගා බැලූ ඇය තමන් සැරසී සිටින්නේ සිටින්නේ තනිකරම සුදු පැහැ වස්ත්‍රයෙන් පමණක් බැව් ප්‍රතම වරට අවබෝධ කර ගත්තාය.


පිරුණු පපුව ආවරණය  කරමින් ඇඟ වටේ ගොස් ඇති සුදු පහැ අතේ වියන ලද රෙදි පටිය පිටුපසින් ගැට ගසා තද කර තිබුණි.යටිකය උදරය සෑහෙන ප්‍රමාණයක් නිරාවරණය වී තිබූ අතර බාල සුදු රෙද්දකින් ඉනත් දෙකකුල් වෙන් වෙන්වත් ඔතා රෙද්දේ වසන් කොන  ඉණට ඉදිරියෙන් ගෙන කකුල් දෙක අතරින් පිටුපසට ගෙන යළි පිටුපස ඉන කොටසේ තඳින් රදවා තිබුනි.


දකුණු කකුළ වටා ගොස් තිබූ සුදු රෙද්දේ එක් කොටසක් පිලිස්සී ගිය බවට සලකුනක් ඉතිරිව තිබූ අතර ඒ කොටස කකුල වටා  එතී තිබූ කොටසින් නිදහස්ව නමුත් රෙද්දට සම්බන්ධවී බිම දිගේ ඇදී තිබුනි.


ඇය බිමට නැවී වමතින් අහුලා ගත් ඒ රෙදි කොටස ඉණට තබා තද කරන්නට කලියෙන් පිලිස්සී තිබූ කොටස ඇගිලි අතරට තබා තෙරපන විට පිලිස්සී ගොස් තිබූ රෙදි කොටස් ගැලවී බිම වැටෙනවාත් සමඟම පියවුන දෑස් වලින් නැගි උණු කඳුළු වලින් ඇගේ කම්මුල් පිළිස්සෙන්නට විය.


වැසුන තෙත දෑස් හැර බලද්දි කැඩපතින් පෙනෙන ඇගේ රුවට අමතරව ඇය දුටුවේ කාමරයේ පිවිසුම් දොර අභියස සිට ඇය දෙස බලා සිටිනා ඒ තේජවන්ත දේහයයි.


ඔහු එතෙක් නිහඬව තමා දෙස බලා සිටින්නට ඇත.ඒ ඔහුගේ ස්වභාවය බැව් ඇය අවබෝධ කරගෙන උන්නාය. ඇය කැඩපතින් පෙනෙන ඔහුගේ රුව දෙස නොත් නොසලා බලා සිටින විට ඔහු දොර ළඟින් ඈත්ව කාමරය තුළ ඇය සිටි තැනට සෙමින් ඇවිද විත් මහා වෘක්ෂයක් සේ ඇය පිටුපසින් සිට ගත්තේය.


තව දුරටත් හැඟීම් තෙරපා ගෙන සිටීමට බැරි වූ තැන ඇය ඔහුගේ දෙසට හැරී ඒ ශක්තිමත් පපුව මත්තේ වැටී හඬන්නට වූවාය.


" ඔයා මාව බේර ගත්තා " 


ඇගේ නලල සිපගත් ඔහු , ශක්තිමත් බාහු යුගලයේ බර නොදැනෙන ලෙසට ඇය තව තවත් ලයට තුරුළු කර ගත්තේ දඬුමොණරයේ නැඟ අතීතයෙන් ද ඉතිහාසයෙන් ද සලකුණක් නොතබාම නොපෙනීම ගියෝය.


හිත් දැහැනන් වෙළි තිබුණු

නෙත් දැහැනේ ගලා හැලුණු

මියදෙන්නට බලා හිදපු

ආදරය ද මේ

හිරැ රහසේ කියා දුන්න

ආදරය ද මේ ‘’


නිල් කටරොලු නිල නැහැවුනු මල් බර මුදු සුව රැදවුන

තොල් පොති  කන පලද්‍රලන

ආදරය ද මේ

 නුඹ රහනසේ කියා දුන්නු

 ආදරය ද මේ’’


ගිමන් හරින දියඹ දිගේ

සුසුම් හෙළන වෙරළ ඉමේ

බැස යන හිරැ අඩිසි සදට රහස් කියනවා                         

සද ආදරයෙන් රටා මවනවා ‘’


හැමදාමත් වැලන්ටයින් දිනයක් වේවා.

ආදරය මුණ ගැසේවා...




Thursday, 9 February 2023

හේ වලහෙකි

 හේ වලහෙකි,


උසය...මහතය..දැකුම් කළුය.


ඔහු ළඟ මා ඉතා කුඩා ජීවියෙකි.


හේ නිතර මා සමඟ පැටලි පැටලී එයි.


ඇතැම් විට ආදරයට ද


 තවත් විටෙක වලියට ද පැටලෙන මෙ වලහා ඒ සෑම විටම අවසානයේ දී  මා වසඟයට ගනී.


වලහෙක් වූවත් හේ ඉතා කසවසම්‍ ය. 


ආදරයෙන් අන්ධ වී ඇති බැවින් ඒ මට පෙනෙනා සැටි වන්නටද පුලුවන.


හේ ඉතා උණුසුම් වලහෙකු වන අතර නිතර නිතර කැලේ මලාක් මෙන් බොරුවට වැතිර නිදන අසරණ මිනිසුන්ට උදව් කරන්නේය.


කණට කොඳුරා උපදෙස් දෙන්නේය.


මේ වලහා මට මුණ ගැසෙනා විට ඉතා යහපත් කල්ක්‍රියාවෙන් සිටි වලසෙකු වුවත් දැන් ඔහු මදක් සිහිමද ගතියෙන් පෙලෙන්නේය.


හේ පැණි කන්නාක් මෙන් මධුපැන් බොන්නේය. 


හුස්ම උරන්නාක් මෙන් සිගරට් බොන්නේය.ඒ මත්තේද පමණක් නොව තොලින් තොලට ගෙන මටත් පොවන්නේය.


පුලුල් වලස් පපුවේ වම් පස පෙන්වා නිදන්නට ඇරයුම් කරන්නේය.


ලෝම කබායෙන් මා උණුසුම් කරන්නේය.


නිදන විට හිස අත ගාමින්ද , පපුවේ හදවත තාලයට වාදනය කරමින්ද සැප පහසුව සලසන්නේය.


උන් හිටි ගමන් අවදි කරවා අද්දනා බසයට නංවා ගෙදර පිටත් කරන්නේය.


වලස් ලෝම අස්සේ  ඇති ආදරය , ගලව ගලවා දෙන්නේය. 


දුටු තැන තුරුලු කර  ගනිමින් නලලත සිඹින්නේය.


සමුනොදීම වහ වහා පිටව යන්නේය.


හේ


වලසෙකි.....



ප.ලි :- කටුස්සා නිතර නිතර කවි වලට දාන වලස් ෆොටෝ දැකල ලිවුවේ.

Tuesday, 7 February 2023

හමුවීම

 හමුවෙමි නෙතට නෙත නොව

නුඹෙ හිතට හිත

සිපගමි තොලට තොල නොව 

නුඹෙ මතක ටික

වාරුව  උරහිසට හිස නොව

නුඹෙ හයිය හිත

ආදරෙ නුඹට නොව 

නුඹ හද මැවුව මට


ආදරෙයි හැමදෑම ❤

-වත්සලා-

7/2/23


Monday, 6 February 2023

සඳපාන

 


මල් පිපුනත් නැතත් මිදුලේ කටුරොලු ගාල

පෙම් ගීමයි කීවේ පොලිකිචි බිචි රෑන

මට හිමි නැතත් ඔබගේ මෘදු සඳ පහස

අහසේ පායපන් සුන්දර සඳ පාන


මීවිත නුඹ මගේ නොපිරූ මධු පාන

කවි ගී නුඹ මගේ නොලියූ මම තාම

පණ ගැහෙනා හිතෙන් නුඹ ගියමුත් ඈත

තෙත සිහිනයන් රෑ නුඹ නමටයි තාම 


සුබ රැයක් ❤

ඇස් කතා කරනවා

  ඇස් ගැන කතා කරද්දි බොහෝ වෙලාවට  ඒ ගැහැණු ඇස් ගැන. ඇස් වල හැඩය, ඒවගෙ තියන හැඟීම් , හිනාවෙන ,අඬන ඇස් ,කතා කරන ඇස්, නපුරු ඇස් ,පාට කරපු ඇස් ත...